සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන අය මෙන්ම විනෝදය පමණක් අපේක්ෂා කරන අය ද සිටිති.
කලා භාවිතයේදී නිර්මාණකරුවා වින්දනය සහ විනෝදය සැපයීම වෙන් වෙන්වත් ඇතැම් විට ඒ දෙකම එකම නිර්මාණයකින් ගෙනහැර පාන්නටත් වෙහෙසෙයි.චිත්‍රපටයක විනෝදය සැපැයීමේදී හාස්‍යය ඉපදවීම තුළින් ප්‍රේක්ෂකයා විනෝද සයුරක ගිල්වෙන අතරේ ඔහු තුළ කිසියම් ආකාරයක සමාජ සවිඥානයක් අවදි කළ හැකි නම් ඒ චිත්‍රපටය වඩා අර්ථ සම්පන්න කාර්යයක් තම ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරයි.ගිරිරාජ් කෞෂල්‍යගේ ‘කතුරු මිතුරු’ චිත්‍රපටය අයත් වන්නේ විනෝදය සපයන අතරම ප්‍රේක්ෂකයා කිසියම් ආකාරයක සමාජ සවිඥානිකත්වයක පිහිටුවන්නට උත්සාහ කළ ආකාරයේ චිත්‍රපටයක් ලෙසටයි.

ඇඳුම් මැසීම වෘත්තිය කර ගත් සහ කොණ්ඩා කැපීම ජීවන වෘත්තිය කර ගත් මිතුරන් දෙදෙනෙකි. කතුර මිතුරන් දෙදෙනාගේම වෘත්තියට සෘජුවම අවශ්‍ය භාණ්ඩයකි.
එහෙයින් ඔවුන් ‘කතුරු මිතුරන්’ ලෙස හඳුන්වන්නට අධ්‍යක්ෂවරයා නිර්මාණශීලී වෙයි.දෙදෙනාම වෙත සේවාවන් ලබා ගන්නට එන විවිධ තරාතිරම්වල අයගේ චර්යාවන් සහ ඔවුනොවුන් අතර හුවමාරු වන අපූරු දෙබස් තුළින් හාස්‍ය උපදවන්නට තිර කතා රචකයා දරා ඇති ප්‍රයත්නය ජයගෙන ඇති බැවින් ප්‍රේක්ෂකාගාරය සිනහවෙන් පිනායයි.
එහෙත් මිතුරන් දෙදෙනා ගෙන් කිසිවකු ජෝකරයකු නොකොට ඔවුන්ගේ කතා ලතා ආදියෙන් හා සංගීතයන් තුළින් හාස්‍යය උපදවන්නට අධ්‍යක්ෂවරයා සමත් වන්නේ ඔහු ගේම තිරනාටකයේ පොහොසත්කම නිසාය. එහිදී අධ්‍යක්ෂවරයා ජයලත් මනෝරත්නගේ මුවට නංවන එක් දෙබස් කාණ්ඩයකින් තම චිත්‍රපටයේ ජනප්‍රියත්වය සඳහා මඟ පාදාගෙන ඇති ආකාරය අපූරු ය.‘විශාල කරදරයක් වුණානේ මේක’ ජයලත් මනෝරත්න ඇඟට පතට නොදැනී අවස්ථා කිහිපයකදී කියන මේ වැකිය අද වන විට ජන ජීවිතයේ එදිනෙදා කටයුතු වලදී හාස්‍යය මතු කරගන්නට තරම් ප්‍රබල වී තිබේ. පෝස්ටර් දහසක් අලවා හෝ දැන්වීම් දහසක් පළ කර හෝ ලබාගත නොහැකි ප්‍රචාරයක් මෙම වැකිය තුළින් ලබාගන්නට ගිරිරාජ් සමත් වී ඇත.

ටේලර්වරුන් සහ බාබර්වරුන් කෙරෙහි එදා මේ රටේ තිබුණේ පසුගාමී දෘෂ්ටියකි.එබැවින් ඔවුන් තම දරුවන් එම වෘත්තීන්හි නියැළෙනවාට අකමැති වූයේ එසේ එම වෘත්තීන්ට සමාජ පිළිගැනීමක් නොතිබූ බැවිනි.නමුත් පශ්චාත් නූතන යුගයෙන් පසු ජාත්‍යන්තර වශයෙන්ම රූපාලාවන්‍ය ක්ෂේත්‍රයෙහිලා සමාජය තුළ ප්‍රබල ඉල්ලුමක් ඇති වූ විට එම වෘත්තීන්ගේ හැඩය වෙනස් වී ඒවා විලාසිතා ලොවට අවශ්‍යම වෘත්තීන් බවට පත්ව ඉහළම වටිනාකමක් එක්වන්නේ නිරායාසයෙනි.
විවෘත ආර්ථිකයත් සමඟ මේ රටේ දොරගුළු හැරුණු වෙළෙඳ ආර්ථිකය තුළ ඒ වෘත්තීන් දෙකටම හොඳ වෙළෙඳ පොළක් සැපැයුණේය. විශේෂයෙන් විවෘත ආර්ථිකයත් සමඟ මෙරට තරුණ තරුණියන්ගේ සහ කාන්තාවන්ගේ විලාසිතා සීඝ්‍රයෙන් වෙනස් වෙමින් ඒවා බටහිර හැඩයක් ගත් අතර, ඔවුන්ගේ මනදොළ සපුරාලිය හැකි පරිදි ඇඳුම් මෝස්තර සහ කොණ්ඩා මෝස්තරවල විශාල වෙනසක් ඇති වූවා පමණක් නොව ඒ සඳහා අත දිගහැර වියදම් කිරීමට ද ජනතාව පෙළැඹුණේය. ‘කතුරු මිතුරු’ චිත්‍රපටයේ තිරකතා රචක සහ අධ්‍යක්ෂ ගිරිරාජ් තම හාස්යෝත්පාදක පුවත තුළ මේ කාරණය අවධාරණය කිරීමට යොමු වීම තුළින් එය හුදෙක් ප්‍රේක්ෂයා බඩ අල්ලාගෙන සිනහා ගන්වන චිත්‍රපටයකට වඩා ප්‍රේක්ෂකයා තුළ සිතන්නට යමක් ඉතිරි කරයි.

මිතුරන් දෙදෙනාගේ දරුවන් තම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සරිලන රැකියාවක් නොලැබ ගිය විට තම පියවරුන්ගේ වෘත්තීන්, නූතන ලොව තුළ විෂයයක් ලෙස හදාරා යළි ගමට පැමිණ අංගසම්පූර්ණ නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කරන තැන දක්වා චිත්‍රපටයේ කතාව ගොඩනඟන ආකාරය එතෙක් විනෝද සයුරේ ගිලී සිටි ප්‍රේක්ෂක මනස අවදි කිරීමකි.
ජනප්‍රිය චිත්‍රපටකරණයේදී අපේ අධ්‍යක්ෂවරුන්ට නැතිවම බැරි සටන් ජවනිකා කතුරු මිතුරු තුළත් ඇත. එහෙත් ඒ සටන් ජවනිකාවල බඩ පිරෙන්නට ගුටි කන අය අපේ සුපුරුදු වාණිජ චිත්‍රපටවල මෙන් ශක්ති සම්පන්නව යළි නැඟිට පහර දෙන්නට එන්නේ නැත. පහර දෙන්නට යවන ගෝලබාලයන් ප්‍රතිවාදියාගෙන් බඩ පිරෙන්නම ගුටි කා බිම ඇද වැටෙද්දී චණ්ඩි වෙස් ගත් කප්පම්කාරයා කරන්නේ කාඩ්බෝඩ් චණ්ඩි ටිකත් රැගෙන හෙමින් සීරුවේ එතැනින් මාරු වීමය. එයම අපුරු හාස්‍යයක් දැනවීමකි. අනෙක් අතට එයින් පැහැදිලි වන්නේ ගිරිරාජ් තම ප්‍රේක්ෂකයා හුදු විනෝද සයුරක ගිල්වන ගමන් ඔවුන් ස්වප්නයක සිරකොට තබන්නට අකමැති ආකාරයයි.

‘කතුරු මිතුරු’ සංස්කරණ කතුරට හසුවිය යුතු ප්‍රධානතම අවස්ථාවක් මඟහැර යෑමෙන් චිත්‍රපටයේ එතෙක් පවත්වාගෙන ආ රිද්මය බිඳගනී. ඒ කතුරු මිතුරන් දෙදෙනා සහ ගෝලයන් හොර අරක්කු බොන්නට ගොස් පොලීසියට කොටු වෙන්නට ගිය අවස්ථාවය. බඩවැලක් මෙන් ඇදී ඇදී යන ඒ දර්ශන පෙළ ඒකාකාරිය. ප්‍රේක්ෂකයා වෙහෙසට පත් කිරීමකි.
70 දශකයෙන් පසු උත්කර්ෂයට නැඟුණු විනෝදාත්මක සිනමාව තුළ ඇතැම් විටක ජවනිකා මැවූ ඇතැම් නළු නිළියන් දැඟලූ දැඟලිලි දැක අපට සිනා ගියේ නැත. ඒ වෙනුවට සිදුවූයේ එසේ කිරිපණුවන් මෙන් දඟලන ඔවුන් ගැන දුක සිතීමය. ඔවුන් එබඳු තත්ත්වයකට ඇද දැමූ අධ්‍යක්ෂවරුනට හොඳ කනේ පහරක් දෙන්නටය.

ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, වසන්ත විට්ටච්චි වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් ප්‍රධාන භූමිකාවන් සඳහා යොදාගෙන ඔවුන් ජෝකරයන් නොකොට රංගනය තුළින්ම හාස්‍යය මතු කර ගනිමින් ගිරිරාජ් කෞෂල්‍ය ඉහත සඳහන් ආකාරයට හාස්යෝත්පාදක චිත්‍රපට හැදූ අධ්‍යක්ෂවරුනට සහ ඒවායේ කිරිපණුවන් මෙන් දැඟලූ නළු නිළියන්ට කණේ පහරක් එල්ල කරයි. එසේ වුවද ප්‍රියන්ත සෙනෙවිරත්න සහ රොඩ්නි වර්ණකුල සුපුරුදු ජෝකර්ලාගේ තත්ත්වයෙන් මුදවා ගන්නට ගිරිරාජ් සමත් වූ බවක් නොපෙනේ.
නවක නළු නිළියන් වන රසාංගන නන්දසිරි සහ සඳුනි හෙට්ටිආරච්චි තම භූමිකාවන් ප්‍රමාණවත් පරිදි නිරූපණය කරන්නට උත්සාහ දරා ඇති ආකාරය දැකිය හැකිය.

ගුණසිරි සිල්වා (2023.11.05 සිළුමිණ)

රසගඟුල