කලක් කිසිවකුගේ අවධානයෙන් තොරව තිබූ ඇතැම් ස්ථාන පසුව ජනකාන්ත වීම නූතනයේ වරින් වර දක්නට ලැබෙන්නකි.දකුණු ලක හුම්මානය ද ඊට කදිම නිදසුනකි.ඊට හේතුව නූතනයේ මාධ්‍ය ජාලාවල පුලුල් ව්‍යාප්තිය බවට සැක නැත.මේ ඊට තවත් ක්දිම නිදසුනකි. මධ්‍යම සහ සබරගමු පළාත්වලට අයත් අලගල්ල කඳුවැටියෙන් ගලා බසිනා වළගොඩ ඔය නම් කුඩා ජල මූලාශ්‍රයක් තිබේ. වළගොඩ, ඉහළ කෝට්ටේ හරහා ප්‍රපාතාකාර බෑවුමක් ඔස්සේ පහළට බසින එය එම බෑවුමට පහළින් ඇති නිම්නයේ දී තලගොල්ල ඔයට එක් වී පසුව මාඔය හා සම්බන්ධ වෙයි. එම වළගොඩ ඔය ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ දී මීයන්ඇල්ල නම් පර්වතය ඔස්සේ පහළට ඇදහැළීම නිසා සමහරු එයට මීයන්ඇල්ල ඔය කියා ද කියති. වර්තමානයේ පරිපාලනමය බෙදීම්වලට සම්බන්ධ නොවූ, අතීතයේ මෙම මීයන්ඇල්ල පර්වතය මැද රට සතර කෝරලයේ සීමාවක්ව තිබූ බවට මෙම පැරණි කඩඉම් කවිය කදිම නිදසුනකි.
මීයන්ඇල්ල බලනේ කඩවත් ඇතුළේ
කඩුගන්නාව පිට සේසත කෙටූ ගලේ
මාවෙල උඩුපිලින් ලගමුව ද පසු කළේ
සලකුණුවලට මැද රට සතර කෝරළයේ
කෙසේ හෝ ශ්‍රී ලංකාවේ දියඇලි අතරේ කිනම් හෝ විශේෂිත තැනක් හිමිකර ගත යුතුව තිබූ මෙම මීයන්ඇල්ල අද වන විට අඩුම තරමින් ශ්‍රී ලංකාවේ දියඇලි ලැයිස්තුවටත් එක්කර ගත නොහැකිව ඇත්තේ අප රට පාලනය කළ ඉංග්‍රීසින් විසින් එම දියඇල්ල දෙකට පළා වනසා දමා ඇති බැවිනි. සුද්දන් මීයන්ඇල්ල දෙකට පැළීමේ කතාව තරමක් අමුතු නිසා එය ද කෙටියෙන් හෝ ඔබට මෙසේ කිව යුතු ය.
කොළඹ සිට මහනුවර හරහා දුම්රිය මාර්ගය ඉදිකළ ඉංග්‍රීසින් එය අලගල්ල පර්වත පාදමේ සිට කිලෝ මීටර් කීපයක් තුළ දී එහි මඳ උසක් දක්වා ඉහළට ගෙන ඒමට කටයුතු කොට ඇත. ඒ එම ප්‍රදේශය එවක කෝපි වගා රජ දහනක් ව තිබූ බැවිනි. අගනුවර සිට කිලෝමීටර් අනූ එකක් දුරින් පිහිටි අංක 05 දරන බිංගෙය අද්දරින් අලගල්ල කන්දේ පාදමට පිවිසෙන උඩරට දුම්රිය මාර්ගය එතැන් සිට තවත් කිලෝ මීටර් දෙකක් පසු කිරීමත්, අනතුරුව අඩි දාහේ සමෝච්ඡ රේඛාව පසුකරයි. ඒ මෙම මීයන් ඇල්ල පර්වතය අද්දරිනි. මෙම ස්ථානය හරියටම කිවහොත් උඩරට දුම් රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට මීටර් තුන්සියයක් පමණ මෙපිටින් පිහිටා තිබේ.
එහෙත්, එම දුම්රිය මාර්ගය එතැනින් ඉදිරියට ගෙන යාමට නම් එම මීයන්ඇල්ල පර්වතය විද අඩි දහසකටත් වඩා දිග බිංගෙයක් නිර්මාණය කළ යුතු බව වටහාගත් ඉංග්‍රීසීහු එම කටයුත්ත ඊට වඩා ‘ගොඩින් බේරා ගැනීමට’ පහසු ක්‍රමයක් ගැන කල්පනා කළහ. එනම් එම මීයන්ඇල්ල ඇදහැලෙන මීයන්ඇල්ල පර්වතයේ කෙළවරකින් කට්ටයක් කපා ඒ ඔස්සේ දුම්රිය මාර්ගය තැනීම ය.
මෙම මීයන්ඇල්ල පර්වතය පිහිටියේ අඩි හයසීයයක පමණ ප්‍රපාතාකාර බෑවුමක් ඉස්මත්තේ ය. ඒ කෙසේ හෝ මෙම කට්ටය කපා තනන දුම්රිය මාර්ගය ඉහළින් ඇදහැලෙන මීයන්ඇල්ල ඒ කට්ටය ඔස්සේ දුම්රිය ගමනාගමනයට ප්‍රබල බාධකයක් වන බව වටහාගත් ඉංග්‍රීසීහු ඊට ද එක්තරා උපායක් යෙදූහ. එනම් එම අලගල්ල කඳුවැටියෙන් ඇදහැලෙන දියඇල්ල එනම් මීයන්ඇල්ල පර්වතය මුදුනේ ද දෙකඩ කොට එය එම දුම්රිය පාර තනා ඇති පර්වත කට්ටයට සමීපයේ කළු ගලේ සිරස් අතට කපන ලද තවත් ‘කඩක්කර’ හෙවත් කට්ට දෙකක් තුළින් පහළට වෑහෙන්නට සැලැස්වීම ය. අනාදිමත් කාලයක සිට නිදහසේ ගලා හැලුණු මීයන්ඇල්ල එම පර්වතය මත දී දෙකට බෙදී එම පර්වතයේ කට්ටය මගින් වැටී ගත් දුම්රිය මාර්ගය ඉද්දරින් කුඩා දියඇලි දෙකක් ලෙස පහතට ඇදහැලෙන්නට පටන්ගෙන ඇත්තේ සුද්දන්ගේ මෙම ක්‍රියාව නිසා ය. එමෙන්ම එවක උඩරට දුම්රිය මාර්ගයේ විශේෂිත ස්ථානයක් ලෙස සැලකූ මෙම මීයන්ඇල්ල දුර්ගය මීයන් ඇල්ල යනුවෙන් උච්චාරණය කළ නොහැකි ඉංග්‍රීසින් විසින් එය හඳුන්වා දුන්නේ මීන්ගල්ල දුර්ගය (Meengalla Pass) යනුවෙනි. කෙසේ හෝ ප්‍රායෝගික පක්ෂය නොවිමසසා ඔවුන්ගේ පොතපතින් ලත් කරුණු පමණක් පදනම් කොට ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය පිළිබඳ සිංහලයෙන් පොතපත ලියූ ඇතැම් ලේඛකයන් ද එය මීන්ගල්ල ලෙසින්ම හඳුන්වාතිබීම හාස්‍යයට කරුණකි.
නමුදු එම මීයන්ඇල්ල පර්වතයේ ප්‍රපාතාකාර බෑවුමේ කට්ටයක් කපා ඒ මතින් දුම්රිය පාර තැනීම සහ එම දියඇල්ල දෙකට පලා එම බලය අඩුකිරීම සාර්ථක විසඳුමක් නොවූ බව ඉංග්‍රීසීන්ට පසුව තේරුම් ගොස් තිබේ. විශේෂයෙන් නිරිතදිග මෝසම් සමයට අලගල්ල කඳු ප්‍රදේශයට ඇදහැලුණු මහ වැසිවලින් සුද්දන් දෙකට කැපූ මීයන් ඇල්ල කොටස් දෙක පොහොසත් වීමත් සමඟ පර්වත කට්ටය මතින් වැටී ඇති දුම්රිය මගට නොනිසි බලපෑම් එල්ල වී තිබේ.ඒ හේතුවෙන් පසුව ඒ පර්වත කුහරය විද බිංගෙයක් නිර්මාණය කළ ඉංග්‍රීසීහු එය පසුව තනන ලද්දක් නිසා 5A වශයෙන් අංකනය කොට තිබේ.අදත් උඩරට බලා යන සෑම දුම්රියක්ම ගමන් කරනුයේ මේ මීයන් ඇල්ල පර්වතය විද නතා ඇති බිංගෙය තුළිනි.නමුත් සුද්දන් දෙකට පැලූ ඒ මීයන් ඇල්ල දැක ගැනීමට දුම්රිය ගමනක දී නොකැකි වීම මත අද සමහරකු ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් බැස පා ගමනින් අංක 5A දරන දුම්රිය උමඟ සහිත මීයන් ඇල්ල බැලීමට එති.සුද්දන්ගේ දෙකට පැලීම නිසා කුඩා දිය ඇලි දෙකක් ලෙස වෙන්වී ඇති මීයන් ඇල්ල සමීපයේ සිට පැරණි දුම් රිය මාර්ගයේ නටබුන් සේම සබරගමු පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ සදාහරිත නිම්න තලාව ද ඔබට සිත් සේ දැක බලා ගත හැක.
තිලක් සේනාසිංහ