සුනඛ උඩුබිරුම මළගමක පෙරනිමිත්තක්ද?

පාළු රාත්‍රියක ඇසෙන සුනඛ උඩු බිරීමක් කා තුළත් ඇති කරවන්නේ යම් අනියත බියකි. අඳෝනාවක් ආකාරයට ඈතින් ඈතට විහිදී යන මෙම නාදය තමන්ගේ හෝ අසල්වැසි කාගේ හෝ මරණයක් පිළිබඳ පූර්ව නිමිත්තකැයි යන ජන විශ්වාසයක් තිබේ.මෙය ආවට ගියාට ඇති වූවක් ද නොවේ.

මරණයට පත් වන්නට නියමිත පුද්ගලයා වෙසෙන නිවස ආසන්නයේ සැරිසරන මාරයා ගේ දූතශෝයන් වන කළු බල්ලන් මිනිස්සුන්ගේ ඇසට නොපෙනුණත් සුනඛයින්ට ඉවකින් මෙන් දැනෙන්නට ,පෙනෙන්නට වීම නිසා උන් වේදනාවෙන් කෑ ගැසීම උඩු බිරීමක් ආකාරයට අපට ඇසෙන බවට වන විශ්වාසයක් ලොව පුරාම පවතී.

සුනඛයකුගේ උඩු බිරීමක් ඇසෙන්නට වී ආසන්න දිනයක දී කාගේ හෝ මරණයක් ,සමහරවිට එකපෙළට මරණ කිහිපයක් අසන්නට ලැබුණු අවස්ථා ගැන අසන්නට ලැබෙන බව බොහෝ දෙනෙක් කියති “ඒකෙ මොකක් හරි ඇත්තක් නැති වෙන්නත් බෑ ” යයි බොහෝ දෙනෙකු පවසන අවස්ථා තිබේ.හින්දු සංකෘතික විශ්වාස වලට අන්නුව කළු සුනඛයා යම රජුගේ දූතයෙකි.

ඒ අනුව බල්ලෙකුගේ උඩු බිරීමක් යම් විපතක පෙර නිමිත්තකැයි යන විශ්වාසය තර්කයකින් තොරව පිළිගන්නට සිතට ඉඩ දී තම සහජතාවයන්(Incest)මත පැන නඟින ගුප්ත සංවේදිතාවක් අත් දකින්නට බොහෝ දෙනෙක් පෙළඹෙති.

සුනඛයකුගේ උඩු බිරීම සාමාන්‍ය සිදුවීමක් වුවත් එම උඩුබිරීම මරණයේ සංඥාවන් යැයි සිතමින් ලබන බිය සැක මුසු ගුප්ත සංවේදීතාවයෙන් මිදී සුනඛයකුගේ උඩු උඩු බිරීමේ ඇත්ත කතාව කුමක්දැයි දැන් අපි සොයා බලමු..

සුනඛයකු තම චිත්තාවේග පිට කරන්නට යොදා ගන්නේ බිරීමයි.එසේ පිට කරන්නට බැරි හැඟීම්, ආවේග යටපත් කරගන්නට දරණ උත්සාහයේ දී සුනඛයකු තුළින් නැගෙන ශෝකී ගායනයක් බඳු හඩවන්නේ උඩු බිරීමයි..

සුනඛයකු පෙළෙන මානසික පීඩනයක්,විශේෂයෙන් පිට කර ගන්නට හැකියාවක් නැති ලිංගික ආවේගයක් උඩු බිරීමක් ආකාරයට බොහෝ විට අපට ඇසෙයි.එවැනි උඩු බිරීමක් ඇසීමත් සමග අපේ සිත පිළිගන්නේ එය නම් යම් විපතක් පිළිබඳ පූර්ව දැනුම් දීමක් ලෙසිනි .එවැනි හැඟීමක් ඉතා තදබල ආකාරයට සිතේ තැන්පත් වීම ස්වභාවික ය.

මේ අතර තමන්ගේ හෝ අසල්වැසි කාගේ හෝ මරණයක් ගැන දැනගන්නට ලැබුණු විට අපේ මනැස නිරායාසයෙන්ම ප්‍රතිගමනයක(Regression) යෙදෙන අතර එය නතර වන්නේ දිනකට දෙකකට හෝ ඊටත් පෙර දී කනවැකුණු උඩු බිරුම් හඬත් සමගයි.”පෙරේදා රෑ මැදියමේ බල්ලෙකුත් උඩුබුරනවා ඇහුණෙ ඒක තමයි “යැයි කෙනෙකු ඒ සම්බන්ධයෙන් පූර්වාපර සන්ධි ගැලපුව ද ඒ අතරතුර කොතෙකුත් යහපත්, සුභ දේ ද සිදු නොවන්නට ඇතිද ?එහෙත් සිත දින දෙක තුනකට නොව ඊටත් එහා දිනයකදී වුව ඇසුණු උඩුබිරීම අසුභ නිමිත්තක්ය යන විශ්වාසය පෙරදැරිව මිනිස් සිතේ සහජ ස්වභාවය තව තවත් කුලු ගන්වනු ලබයි..

මේ ආකාරයට සුනඛයකුගේ උඩු උඩුබිරීමක් හා කෙනෙකුගේ විපතක් අතර අන්තර් සම්බන්ධතාවයක් තිබේ දැයි මදක් විමසා බලමු .
බල්ලෙකුගේ උඩු බිරීම ඇසුණු ආසන්නයේදී සුභදායී පණිවිඩයක් ,යම් ජයග්‍රහණයක් ,පවත්වනු ලැබූ ප්‍රිය සම්භාෂණයක් පිළිබඳ කාගේ හෝ අවධානය යොමුවී තිබේද? බල්ලෙකුගේ උඩු බිරීමක් පිළිබද සංඥාව සිතේ තැන්පත් වුවද ඒ නිශ්චිත දිනය පොතක ලියා තබා කිසිවකු මතකයේ රඳවා ගන්නේ නැත.

ඒ අනුව බල්ලෙකුගේ උඩු බිරීම ඇසී යම් විපතක් පිළිබඳ පුවත ඇසෙන්නේ කොපමණ දිනකට පසුව දැයි යන්න අපේ මතකයේ නැත .එහෙත් ඒ අතර එක් බල්ලකු නොව බලු රෑනක් උඩු බිරුවද ඉන්පසු එම ප්‍රදේශ වාසීන්ට අසන්නට ලැබෙන සතුටු දායක ආරංචි එම උඩු බිරීම හා සම්බන්ධ කොට දැක්වීමක් ද සිදු නොවේ. ඒ අතරතුර දී කිසිදු විපතක් පිළිබඳ පුවතක් නෑසුණේ නම් එවිට ද බල්ලාගේ උඩුබිරීම පිළිබඳ මතකය එලෙසින්ම අමතකව යයි.

සුනඛ උඩුබිරීම් සම්බන්ධ මෙම මිථ්‍යා සංකල්පය අපට පමණක් ආවේණික වූවක් නොවේ .පසු සිදුවීම පෙර සිදුවීමේ ප්‍රතිඵලයක් ය(Post hoc ergo propter hoc ) යන්න මිථ්‍යාවක් බව පැවසෙන ප්‍රසිද්ධ ලතින් කියමන යථාර්ථයක් බව දැන් ඔබට පැහැදිලි ඇති.

ඒහෙත්, මේ අතර මනසින් අතිශය දුර්වල වූ රෝගියෙකුට,වියපත් වූවෙකුට බල්ලෙකුගේ උඩු කිරීමක් වුවද දැඩි මානසික බිඳ වැටීමකට හේතුවක් විය හැකියි .එවැනි අයෙකුට මෙවැනි සිදුවීමක් නිශේධනාත්මක බලපෑමක් එල්ල කළ හැකි.

සුනඛයකු තුළ පවතින ඉව පාරිසරික වශයෙන් පවතින්නක් මිස මරණයක් වැනි විපතක් කල් තියා හදුනා ගැනීමේ හැකියාව ඇති අදෘශ්‍යමාන බලවේගයක් නොවන බව අවබෝධ කරගත ගැනීම ඔබගේ මානසික සෞඛ්‍යයේ යහපැවැත්මට බෙහෙවින් ඉවහල් වනු ඇත..

උත්පලා සුභාෂිණී ජයසේකර

ඉරා අදුරුපට