මනුෂ්‍යයන්ගේ මෙන්ම වෙනත් ඕනෑම තිරිසන් සතෙකුගේ වුවද ගැහැනු සතකු ගර්භනී වී ඇති බව අප හඳුනා ගන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ සතාගේ උදරය විශාල වීම තුළිනුයි. එහි දී තන පුඩු වලින් කිරි වෑස්සීම, චර්යා රටාවන් වෙනස් වීම සතුන්ගේ තවදුරටත් දැකිය හැකි ලක්ෂණයි.
සාමාන්‍යයෙන් සුනඛ ගැහැනු සතෙකුගේ ප්‍රජනන කාලය මාස හයකට පමණ වරක් සිදු වෙනවා. මේ කාලයට පිරිමි සතුන් සමග එක්වීමෙන් පසු ගර්භනී ලක්ෂණ ගැහැනු සතා තුළින් පළ විය හැකියි. මේ කතා කරන්නේ එලෙස පිරිමි සතෙකු සමග එක්වීමක් ඇතිව හෝ නැතිව ප්‍රජනන කාලයෙන් පසු ගැහැනු සතෙකු තුළ ගර්භනී ලක්ෂණ පහළ වීම පිළිබඳවයි. එම ලක්ෂණ අතර ඉහත ද සඳහන් කළ අන්දමට උදරය විශාල වීම හැරුණු විට පියයුරු විශාල වීම සහ වෙනදා පැවති චර්යා රටාවන් වෙනස් වීම වගේම සතා තුළ තැන්පත් ස්වභාවයක් ඇතිවීම, පැටවුන් බිහි කිරීම සඳහා සුදුසු තැන් සෙවීම, අහුමුළුවලට වී සිටින්නට වැඩි කැමැත්තක් දැක්වීම, මානසිකව කලබලකාරී ගති පළ වීම, කේන්ති යාම, යෝනි මාර්ගයෙන් ශ්රාවයක් නිකුත් වීම වැනි ලක්ෂණ ඇති වෙනවා. මේ සියල්ලම සුනඛ ගැබිනි සතකු තුළ දැකිය හැකි ලක්ෂණ යි.
මෙහිදී එම සුනඛ ගැහැනු සතා සිතන්නේත්, එම සතාට දැනෙන්නේත් තමාගේ කුසේ පැටවුන් සිටින බවයි. එම සතාව ඇති දැඩි කරන නිවැසියන් පවා එලෙසම සිතන අතර 100 %ක් ම එම සුනඛ ගැහැනු සතා තුළින් පළ වන්නේ ගර්භණී ලක්ෂණයි. නමුත් අවසානයේ සතා පැටවුන් බිහි කරන්නේ නැතිවම ඉබේ ම එම ලක්ෂණ පහවී යනවා. මෙවැනි තත්ත්වයක් තුළ දී ගැබ්බරව සිටි එම සුනඛ ගැහැනු සතාගේ කුසේ සිටි පැටවුන්ට සිදුවූයේ කුමක්ද යන්න කාටත් පැන නගින ගැටලුවක්. ගර්භනී ලක්ෂණ සියලු ආකාරයෙන්ම පහළ වී, නමුත් කුසේ පැටවුන් හට ගැනීමක් සිදු නොවී නියමිත කාල සීමාවේ දී එම ගර්භනී ලක්ෂණ ඉබේම පහ වී යාමේ මෙම තත්ත්වය හඳුන්වන්නේ ව්‍යාජ ගර්භය හෙවත් pseudo pregnancy ලෙසින්.
මෙහිදී වන්නේ සතාගේ ඩිම්බ මෝචනය වී, පිරිමි සතෙකු ගේ ශුක්‍රාණු සංසේචනයක් සිදු නොවුණත් එසේ වූ බවට මොළයට පණිවිඩයක් යාමයි. එවිට සතා ගර්භනී වී ඇති බව මොළය විසින් තීරණය කරන අතර ඉන්පසු සතාගේ සිරුරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය වැඩිපුර නිකුත් වෙන්නට පටන් ගන්නවා. ඉන්පසු සතාගේ පැටවුන් ප්‍රසූතියක් සිදු නොවී ඉබේම ගර්භනී ලක්ෂණ පහවී යනවා. එවිට මොළය තීරණය කරන්නේ සතාගේ පැටවුන් බිහි වී ඇති බවයි. ඒ අනුව කිරි නිපදවීම වැඩි වීම සඳහා සිරුරෙන් ප්‍රෝලැක්ටින් හෝමෝනය වැඩියෙන් නිකුත් වීමට පටන් ගන්නවා.
පෙරකී ආකාරයට සියලු ගර්භනී ලක්ෂණ පහළ වුවද බොහෝ සුනඛ ගැහැනු සතුන් කෙරෙන් පළවිය හැකි මෙම ව්‍යාජ ගැබ්බර බව හඳුනා ගැනීම ඉතා අපහසුයි. ගැබ් ගන්නා සතුන්ගෙන් 60% ක් පමණ ම එලෙස ව්‍යාජ ගර්භණී බවකින් පෙළෙන්නන් බව සොයාගෙන තිබෙනවා. මෙය පරිණාමීය ලක්ෂණයක් බවට විශ්වාසයක් තිබෙනවා. සුනඛ ගැහැනු සතුන්ගේ ප්‍රජනන සමය සාමාන්‍යයෙන් එකම කාලයක දී සිදු වන්නේ. ඒ අතරින් ගැබ් ගන්නේ සතුන් කිහිප දෙනෙකු පමණක් විය හැකියි. සුනඛයා රංචු වශයෙන් ජීවත් වූ මුල් යුගයේ පටන් ගැබක් දැරුවත් නැතත් රංචුවේ වැඩුණු ගැහැනු සතුන් ගර්භනී ලක්ෂණ පෙන්වීම එම රංචුවේ බිහිවන පැටවුන්ට විශාල වාසියක් වුණා. ඒ පැටවුන් බිහි කළ සුනඛ බව නොමැතිව වුවත් රංචුවේ වෙනත් ගැහැනු සතුන්ගෙන් කිරි උරා බී පෝෂණය වීමට මෙම පැටවුන්ට හැකියාව ලැබීම නිසයි.
කෙසේ වුවද බොහෝ විට මේ තත්ත්වය ඉබේ පහවී ගියත් සමහර සතුන්ගේ කිරි එකතු වීම නිසා පියයුරුවල කිරි ඝන වෙන්න පුළුවන්. ඒ තත්ත්වය ගොඩක් වැඩි වුණොත් සැරව පිරෙනවා. එවිට පියයුරුවල බුරුලු ප්‍රදාහය නම් තත්ත්වය ඇති වෙනවා. මේ තත්ත්වයට ප්‍රතිජීවක ඖෂධ ලබාදිය යුතු නිසා සතා පශු වෛද්‍යවරයකුට පෙන්විය යුතුයි. එක වරක් ව්‍යාජ ගර්භය හටගත් සුනඛ ගැහැනු සතෙකුට මේ තත්ත්වය නැවත නැවත වුවත් හට ගන්න පුළුවන්.
කෙසේවුවද සුනඛ ගැහැනු සතෙකුට මෙවැනි ව්‍යාජ ගර්භයක් හට ගත් පසු එය හඳුනා ගැනීමට හැකි වන්නේ එක්ස්රේ හෝ ස්කෑන් පරීක්ෂණ මගිනුයි.
පශුවෛද්‍ය නදීකා දිල්රුක්ෂි
සැකසුම – ඉන්දු පෙරේරා