ඔබ ආදරයෙන් ඇති දැඩි කරන සුනඛ සුරතලාට කෑම බීම දීම, නෑවීම, අසනීප වූ විට ප්‍රතිකාර ලබාදීම, එන්නත් ලබාදීම හැරුණු විට එම සුරතලාගේ නිරෝගී පැවැත්ම උදෙසා ඔබ විසින් කළ යුතු තවත් දේ තිබෙනවා.
එයින් එකක් වන්නේ “පෙට් ගෲමින්”(pet grooming) ය. එක්තරා ආකාරයකින් සුනඛ සුරතලාට කරනු ලබන රූපලාවන්‍ය කටයුත්තකට සමාන වූ මෙමගින් සුරතලාගේ බාහිර පෙනුම මෙන්ම පෞද්ගලික සනීපාරක්ෂාව ද වැඩි දියුණු වෙනවා. මෙවැනි සේවාවන් මුදල් ගෙවා ලබාගත හැකි පෞද්ගලික පශු වෛද්‍ය ආයතන අපේ රටේ තිබෙනවා.
මෙමගින් කරනු ලබන්නේ සුනඛයාව ක්‍රමානුකූලව පිරිසිදු කිරීමයි. සාමාන්‍යයෙන් බොහොමයක් සුනඛයන් තුළ එක්තරා ආකාරයකින් ඔවුන්ට ආවේණික වූ දුගඳක් හමනවා. නමුත් මෙලෙස ක්‍රමානුකූලව පිරිසුදු කරන ලද සුනඛයකු තුළ එබඳු දුගඳක් පවතින්නට අවකාශයක් නෑ .
මෙහිදී මුලින්ම කරන්නේ සුනඛයාගේ සම්පූර්ණ ශරීරයම හොඳින් බ්‍රෂ් කිරීමයි. බ්‍රෂ් කිරීමේ ස්වභාවය සුනඛයාගෙන් සුනඛයාට වෙනස්. උගේ ශරීර ප්‍රමාණය, ලොම්වල ප්‍රමාණය වැනි දේ ඊට බලපාන අතර ලොම්වල ප්‍රමාණය අනුව තෝරාගත යුතු බ්‍රෂ් වර්ග ද වෙනස් වෙනවා.
දිග ලොම් ඇති සුනඛයකුට නම් දිග දැති සහිත බ්‍රෂ් එකක් අවශ්‍යයි.
සුනඛයකු දිනපතා නෑවීම අවශ්‍ය නොවුණත් දිනපතා හොඳින් බ්‍රෂ් කිරීම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මනුෂ්‍යයන්ගේ ශරීරයේ සමෙන් දහඩිය පිටවන නිසා දහඩිය සමඟ අපද්‍රව්‍ය ද පිට වෙනවා. නමුත් සුනඛයන්ගේ සමෙන් දහඩිය දැමීමක් සිදු වන්නේ නෑ. ඒ සුනඛයන් මුඛයෙන් දහඩිය හෙලන නිසයි. මේ නිසා සමේ තැවරෙන කුණු දූවිලි වගේම ඉතා කුඩා වියළි කුණු කැබලිද සමෙහි තැන්පත් වී තිබෙනවා. මේවා ඉවත් කළ හැක්කේ බ්‍රෂ් කිරීමෙනුයි. එනිසා බ්‍රෂ් කිරීම ඉතා හොඳින් කළ යුතුයි.
ඊළඟ කාර්යය වන්නේ සුනඛයාගේ කන් පිරිසිදු කිරීමයි. කන් ඇතුළත ලොම් කෙටි කර කපා දමා කන් පිරිසිදු කිරීම කළ යුතුයි.
සුනඛයාගේ දත් මැද පිරිසිදු කිරීමද අත්‍යවශ්‍ය කාර්යයක්. එය සුනඛයාගේ නිරෝගී පැවැත්මට ඉතා වැදගත් වෙනවා. හේතුව, සුනඛයාට ද අපට මෙන් දත් රෝග හට ගැනීමයි. දත් පිරිසුදු නොකිරීම නිසා සිදුවන දත් නරක් වීම මේ අතරින් ප්‍රධානයි.
සුනඛයන්ගේ මෙන්ම බළලුන්ගේ පවා දත් නරක් වෙනවා. තදින් දත් කැක්කුම හැදුණු විට අප මෙන් මහ හඬින් කෑ ගැසුවේ නැතත් දත් කැක්කුම නිසා මේ සතුන් කෑම ගැනීමෙන් වැළකී හිඳිනවා. එසේම නරක් වූ දත් තිබෙන විට ඔවුන්ගේ මුඛයෙන් දුගඳ හැමීම ද සිදුවෙනවා. මීට අමතරව විදුරුමස් දිය වන රෝග ද මේ සතුන්ට වැළඳෙනවා.
මේ නිසා සුනඛයන්ගේ දිනපතා දත් මැදිය යුතුයි. නිතර උගේ මුඛය පරීක්ෂා කර නරක් වූ දත් තිබේ නම් පශු වෛද්‍යවරයකු ලවා ඒවා ගලවා ඉවත් කළ යුතුයි. සුනඛයාගේ දත් කැක්කුම හඳුනා ගත හැකි ලක්ෂණ වන්නේ කෑම ප්‍රතික්ෂේප කිරීම, මුඛයෙන් කෙල බේරීම, ඇතැම් විට කෙඳිරි ගෑම ආදියයි. ඒ නිසා දිනපතා සුනඛයාගේ දත් මැදිය යුතුයි.
ඒ සඳහා ළමයින් වෙනුවෙන් භාවිතා කරන කුඩා ප්‍රමාණයේ දත් බුරුසුවක් සහ හක්කේ දත් මැදීමට සුනඛයන් සඳහා ම විශේෂිත වූ ඇඟිල්ලේ රුවා කට ඇතුලට දමා මැදිය හැකි බ්‍රෂ් වර්ගයක් ද අවශ්‍ය වෙනවා. දත් මැදීම සඳහා සුනඛයන් වෙනුවෙන් නිෂ්පාදිත දන්තාලේප වර්ගයක් හෝ ළමයින් සඳහා නිෂ්පාදිත බේබි ටූත්පේස්ට් වර්ගයක් හෝ යොදා ගත යුතුයි.
යටිපතුල් පරීක්ෂා කර එහි ඇති ලොම්ද ඉවත් කිරීම අත්‍යවශ්‍යයි. ඒ සතාගේ දෙපතුල් යට කුණු රැඳීම වැළැක්වීම සඳහායි.
දිගු ලොම් ඇති සුනඛයකුගේ එම ලොම් ගාණට කෙටි (Trim)කළ යුතුයි. අනවශ්‍ය ලෙස ලොම් දිගුවී වැඩෙන විට ලොම් කෙළවර පැහැය වෙනස් වෙනවා. එයින් සතාගේ සුන්දර පෙනුම අඩු වන නිසා එකම ප්‍රමාණයකට ලොම් කපා දැමීම අවශ්‍යයි.
මේ සියල්ල කිරීමෙන් පසු යළිත් මුළු ශරීරයම පරීක්ෂා කර දෙවන වතාවටත් බ්‍රෂ් කරනවා.
ඊළඟ පියවර සතාව නෑවීමයි. මෙහි දී සුනඛයකු නෑවීමට සුදුසු බෙල්ලේ සිට එතැනින් පහළ කඳ ප්‍රදේශය පමණයි. හිසට වතුර වත් කිරීමෙන් කන්වලට වතුර ගියොත් විවිධ ආසාදන තත්ත්වයන් හට ගත හැකියි. නමුත් මේ ආකාරයට නාවන විටත් කන්වලට වතුර විසි වීම වළක්වාලන්නට කන් දෙකේ පුළුන් සිර කළ යුතුයි. බෙල්ලෙන් පහළ කොටස නාවා අවසන් කළ පසු පිරිසිදු තුවායක් වතුරේ දමා මිරිකා එයින් සම්පූර්ණ හිසත්, ඇස් වටේටත් හොඳින් පිස දමා පිරිසිදු කළ යුතුයි.
සුනඛයා මෙලෙස නෑවීමේ දී ඔවුන් සඳහා ම විශේෂිත වූ ෂැම්පු වර්ගයක් යොදා ගත යුතුයි. මේ ෂැම්පු වර්ගය සුනඛයාගේ ලොම් වල ස්වභාවය වැනි කරුණු අනුව වෙනස් වෙනවා.
එනිසා සුදුසු ෂැම්පු වර්ගය පශු වෛද්‍යවරයකු වෙතින් දැනගැනීම යෝග්‍යයි.
නාවා අවසන් කළ පසු සුනඛයා ඉතා හොඳින් පිස දැමිය යුතුයි. දිග ලොම් නම් හෙයා ඩ්රයරයක ආධාරයෙන් වේලීම වැදගත්. මෙසේ උගේ තෙත ගතිය වියළා නොදැම්මොත් සිරුරෙන් දුගඳක් හැමීම සිදුවෙනවා. මීළඟ කාර්යය සුනඛයාගේ නියපොතු කැපීමයි.
නිතර මහපොළොවේ ඇවිදින සුනඛයන්ගේ නියපොතු ස්වභාවයෙන්ම ගෙවෙන නමුත් ටයිල් කරන ලද බිමක ඇවිදින සුනඛයෙකුගේ නියපොතුවල ගෙවීමක් සිදු වන්නේ නෑ. නියපොතු නොගෙවී පවතින විට ඒවා වක්‍රාකාරව ඇඟිලි දෙසටම නැවී දිගු වීමෙන් ඇඟිලි තුවාල වී ආසාදන තත්ත්වයට පත් වන්න පුළුවන්.
මේ මේ තත්ත්වය වළක්වා ගන්නට සුනඛයන්ගේ නියපොතු කලින් කලට කපා දැමීම කළ යුතුයි.
නිතර ඇවිදින සුනඛයෙකුගේ වුවත් පාදයේ පසෙකින් පිහිටි මාපට ඇඟිල්ල පොළොවේ නොවදින නිසා එය ගෙවෙන්නේ නෑ. එනිසා එම නියපොත්ත වැවෙන විට කපා දැමිය යුතුයි. නිය කැපීමෙන් පසු ඇඟිලි අතර පිරිසිදු කිරීම කළ යුතු වෙනවා.
අවසන් වශයෙන් තුන්වෙනි වතාවටත් සුනඛයා බ්‍රෂ් කිරීම කළ යුතුයි. මේ විදියට තමයි සම්පූර්ණ වශයෙන් ගෲමින් එකක් නැතහොත් නියමාකාරයෙන් පිරිසිදු කිරීමක් කරන්නේ.
දිගු ලොම් ඇති සුනඛයකුගේ නම් මෙම පිරිසිදු කිරීමේ කාර්යය මාස තුනකට වතාවක්වත් කළ යුතු අතර කෙටි ලෝම ඇති සුනඛයකුගේ නම් එය මාස හයකට වරක් පමණ කිරීම ප්‍රමාණවත් වෙනවා.
ඉන්දු පෙරේරා