සුරතලුන්ගේ සිත් තැවුල් තේරුම් ගනිමු

මිනිසුන් වූ අපගේ වගේම සුනඛයන් වැනි සතුන්ගේ ද මානසික සෞඛ්‍යය පිරිහෙන අවස්ථා තිබෙනවා. මෙසේ වන්නේ ඔවුන්ගේද මොළයේ රසායනික ක්‍රියාකාරීත්වයේ ඇතිවන ගැටලු තත්ත්වයන් නිසයි. නමුත් වෙනස නම් මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයේ පිරිහීමක් ඔවුන්ගේ හැසිරීම් හා චර්යාවන් තුළින් පහසුවෙන් හඳුනාගත හැකි වුවත් සතුන් සම්බන්ධයෙන් එය දුෂ්කර වීමයි. නමුත් සතුන්ගේ චර්යාවන් පිළිබඳව ඉතා සමීපව අධීක්ෂණය කළ හැකි නම් එය හඳුනා ගැනීම දුෂ්කර වන්නේ නෑ.සතුන්ගේ මානසික සමතුලිතතාව බිඳී යාමට බලපාන හේතු
* පීඩාකාරී පරිසරයක දීර්ඝ කාලයක් ගැට ගසා හෝ කූඩු කර රැඳවීම
* මානසික ආතතිය
* දීර්ඝ කාලයක් සතාව රැකබලාගත් ස්වාමියා මිය යාම
* නිවසට රැගෙන ආ අලුත් සුරතලෙකුට නිවැසියන් විශේෂ සැලකිලි දැක්වීම
* නිතර දඬුවම්වලට ලක් වීම හා පහරකෑම
* අඳුරු අපිරිසිදු ස්ථානවල දිගු කාලයක් සිර කොට තබා ගැනීම
* ජීවත්වන පරිසරයේ තමන්ට වඩා ප්‍රචණ්ඩ වෙනත් සතෙකු අධිකාරිත්වය දැරීම
මේ හේතුව මත සුනඛයන්ගේ මෙන්ම බළලුන් වැනි සුරතලුන්ගේ ද මානසික සමතුලිතභාවය බිඳී ගොස් මානසික සෞඛ්‍යය පිරිහෙනවා.
මෙසේ මානසික සමතුලිතභාවය බිඳී ගිය සතුන් කෙරෙන් සුලබව දැකිය හැකි ලක්ෂණ කිහිපයක් මෙසේයි.
* ඉන් පෙර නොතිබූ ආකාරයේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක් පළ කිරීම
* සුනඛයකු නම් අඛණ්ඩව බිරීම
*එකම ආකාරයේ ඉරියව්වකින් හැසිරීම
නිදසුනක් ලෙස ගතහොත් කූඩුව තුළ එකම තැන රවුමට කැරකීම
* තම සිරුරේ කොටස් තමන් විසින්ම සපාකෑම

මෙබඳු ලක්ෂණ ඇති සතෙකු හඳුනාගත් විට අප කළ යුත්තේ කුමක්දැයි දැන් සොයා බලමු.
මෙහිදී මානසික පීඩනයට හේතු වූ කාරණය හඳුනාගෙන එයට පිළියම් යෙදීම අවශ්‍යයි .
වෙනත් සුරතල් සතෙකු නිවසට රැගෙන ආ විටදී කලක් හුරුවන තුරු වැඩිහිටි සතා සමග එකට දැමීම නොකළ යුතුයි. අලුතින් ගෙනා සතාව සුරතල් කිරීම විශේෂ සැලකිලි දැක්වීම ආදිය පැරණි සතා ඉදිරියේ නොකිරීමට ද විශේෂයෙන් වගබලා ගත යුතුයි. අලුතින් ගෙනා සතා ක්‍රමානුකූලව පැරණි සතාට සමීප කරවීම ඉතා වැදගත්.
අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර සතා පීඩාවට පත්වන ආකාරයෙන් කූඩු කර තැබීම, ගැට ගසා තැබීම ආදිය නොකළ යුතුයි. මානසික පීඩනයට අදාළ වන එවන් සාධක විසඳූ පසුවත් රෝග ලක්ෂණ ඒ ආකාරයෙන්ම පවතී නම් සතාට ඖෂධීය ප්‍රතිකාර ලබාදීම අවශ්‍යයි.
බළලුන්ගේ මානසික ව්‍යාකූල තත්වයන් හට ගැනීමටද සුනඛයන් සඳහා බලපාන හේතු සාධක ම බොහෝ විට ඉවහල් වෙනවා. ඊට අමතරව පිරිමි බළලුන්ට අවශ්‍ය කාලයේදී නිදහසේ පිටතට යෑමට අවස්ථාව ලබා නොදී සතුන් කූඩු කර තැබීම නිසා එවැනි විටකදී ද මානසික ව්‍යාකූල තත්වයන් උද්ගත විය හැකියි.
බොහෝ දෙනෙක් නොදැන සිටියත් මානසික සමතුලිතතාව බිඳී යන හේතු සාධකවල බලපෑමෙන් සතුන්ගේද මානසික සෞඛ්‍යයේ වෙනස්කම් හට ගන්නවා. එනිසා ඔබේ සුරතලා ගේ ශාරීරික සෞඛ්‍යය ගැන සිතන තරමටම මානසික සෞඛ්‍යය ගැනත් අවධානයෙන් පසු වීම ඉතාමත් වැදගත්.

පශු වෛද්‍ය ජගත් ජයසේකර

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය