වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඊයේ (14) රාත්‍රී 6.55 දෙරණ ප්රවෘත්ති ප්‍රකාශයේ දී මෙසේ කීවේ ය.”තව දවස් දෙක තුනක් මේ ස්ට්‍රයික් එක වෙන්ඩ ඉඩ ඇරියොත් සීයට අනූවක්වත් සේවයට වාර්තා කරන තත්වයක් උදා වෙනවා. මේ වැඩ වර්ජනය නවත්වන එකම ක්‍රමය ලැබ් වලින් සහ වෙනත් කර්තව්‍යන් ඔක්කොම පෞද්ගලික අංශයට භාරදීමයි. ගැසට් නිකුත් කරල එතැනින් නවතින්න එපා. අසූවේ වැඩ වර්ජනයේ දී වගේ 2024 සාර්ථක කරගෙන සුව සේවාවක් බවට පත් කරගන්න වෛද්‍යවරුන්ට උදව් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා .”ඔහු ගේ එම ප්‍රකාශයේ ගත යුත්තක් තිබේ.
රෝහලක ආරක්ෂාව, භූමිය පිරිසිදු කිරීම , ලොන්ඩ්‍රි සේවා වැනි සේවා දැනටත් පෞද්ගලික අංශවලින් ක්‍රියාත්මක ය. රසායනාගාර සේවාවන්,එක්ස් රේ , ආහාර සැපයීම, එසේ නොකරාවි කියා සිතන්නට බැරි ය. ඇතැම් විදේශ රටවල එවැනි සේවා වෙනත් වෙනත් පෞද්ගලික අංශ වෙත බාර දී වඩාත් සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් හිඳියි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ මේ වර්ජකයන් ඉල්ලන ඉල්ලීම් ප්‍රායෝගික නැති නිසාත් සාධාරණ කරන්න බැරි ඉල්ලීම් සමග එන නිසාත් ඒවා කවදාවත්ම නොලැබී සටන දියාරු වේවි කියා ය.එනිසාම එය පරදින සටනක් බවට පත්වන බවයි.
“ප්‍රායෝගික නොවන සටන් පාඨ කියා සාධාරණයි කරන්න බැරි ඉල්ලීම් එක්ක එන විට මේ සටන ඉබේම මේක දියාරු වෙලා යනවා.එය නිකම්ම පරදින සටනක් බවට පත්වෙනවා. රටේ මිනිස්සු වෛද්‍යවරුන්ට මේක දෙන්නෙ නැතුව වෙන කාට දෙන්නද කියලා අහනවා; වෛද්‍යවරු රැක ගන්නේ නැතුව කවුද රැක ගන්නේ කියල. එය ජනතාව තේරුම් ගෙන තියෙන්නේ.මේ අවස්ථාවේදී මේ සටනට ජනතාව ගෙන් කිසිම සහයෝගයක් මේ කණ්ඩායම් වලට ලැබෙන්නෙ නැහැ..”ඔහු කියයි.
වෛද්‍ය වරුන්ට ලබා දෙන ඩැට් දීමනාව ලැබීම සඳහා වර්ජකයන් සිදු කරන රාජකාරි සියල්ල සුදුසු කම් ලබා නැති බව ඉතා පැහැදිලිව ඔවුන්ට වටහා දී ඇත. ඇතැම් විට වර්ජනයේ යෙදෙන අතරේ ඔවුන් එය වටහා ගනිමින් හිඳිනවා ද විය හැක.ඒ අනුව මෙය නියත ලෙසම පොට වරද්දා ගත් වෘත්තීය අරගලයකි.
මේ අතර සෞඛ්‍ය සේවයට අදාළ සේවක කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති වරයා ගැසට් නිවේදනයක් ද නිකුත් කොට ඇත.සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක් නිකුත් වී ඇති නිසා ඕනෑම මොහොතක නීතිය ක්‍රියාත්මක කළොත් වර්ජකයන්ට මොනවා වෙනවාදැයි කිව නොහැක.වර්ජනය අතරේ උද්ඝෝෂණය කරන්නවුන්ට ආරක්ෂක අංශ වලින්, ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් ප්‍රහාර සහ අත් අඩංගුවට ගැනීම් සිදු විය හැක. එමෙන්ම මහජනතාවගේ විරෝධතාව එන්න එන්නම ඔවුන්ට එරෙහිව නැගීගෙන එයි.එනිසා පීඩනයට පත් මහජනතාව වෙතින් ඔවුන්ට පහරදීම් සහ අශූචි ප්‍රහාර පවා එල්ල වීමට ඉඩ ඇත.
මේ තත්වයන් යටතේ වර්ජකයින් මුහුණ පා සිටින්නේ බරපතල ගැටලුවකට ය. එබැවින් රජය පැත්තෙන් දමන කඹයක නොව පිදුරු ගසක පවා එල්ලී සටන නැවැත්වීමට ඔවුන් සූදානම් බව පෙනෙයි.මුලදී ජනාධිපති වරයා හමුවී විසඳුමක් ලබා දෙන තුරු දිගටම දීප ව්‍යාප්ත වර්ජනයක යෙදෙන බවට අඬහැර පෑ ඔවුන් සෞඛ්‍ය අමාත්‍ය වරයා හමුවීමට දිනයක් දුන්නා කියා දැනටමත් තාවකාලිකට වර්ජනය නවතා ඇත. අනේ,ඉතින් ඔය ටික කලින්ම කිව්වා නම් අසරණ රෝගී ජීවිත රාශියක් අනතුරට පත් වෙන්නේ නෑ නේද?
විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්ෂ