රටේ මිනිස්සු වල්මත් වෙලා. රට ගැන කතා කරන්න පටන් ගත්ත ගමන්ම හැම දෙනාම කියන්නේ “අනේ මොන තරම් අපූරුවට තිබුණ රටක්ද..?” කියලා. ඔන්න එතැනින් පටන් ගත්ත කතාව ඉතා ඉක්මණින්ම දේශපාලනේට ඇදිලා යනවා. මේ අපූරු රට කාබාසිනියා වුණ හැටි කියන්න ගිහින් තමන් ඉන්න දේශපාලන කඳවුරට විරුද්ධ පැත්තේ ඉන්න ඔක්කෝටම බනින්න පටන් ගන්නවා. උන් තමයි රට කෑවේ කියලා කියන්න.
හැබැයි එයාට මාතෘකාව දිගේ විනාඩියක්වත් කතා කරන්න අනෙකා ඉඩ දෙන්නේ නැහැ. එයා පනිනවා මැද්දට. ඒ පැනලා අනෙක් දේශපාලන කඳවුරට පතුරු යන්ඩ දෙනවා. ඔන්න ඔය අතරේ දී තව හාදයෙක් පැනලා ඒ දෙපැත්තටම ගහන්න පටන් ගන්නවා. ඔය විදිහට “අපූරු රට” ගැන කතා කරන්න මුල පිරුව පිරිස ‘හරි අපූරුවට’දේශපාලන විග්රහයේ යෙදෙන්න උත්සහ කරනවා. හැබැයි සමහරු එතැනින් නවතින්නේ නැහැ. කණුහබ්බ දෙසා බාමින් උනු’න්ගේ අතපය විසිකර ගන්න පටන් ගන්නවා.
ගුටි කෙළියක් නිර්මාණය වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. අන්තිමට පිහි ඇනුමකින් හෝ වෙඩි ප්‍රහාරවලින් තුවාල ලබා හෝ මිය පරලොව ගොස් රට ගැන කියුම් ‘කෙරුම්’වලින් අවසන් වෙනවා.
මම ඒකයි මුලින්ම කිව්වේ රටේ මිනිස්සු ‘වල්මත්’ වෙලා කියලා. කීප දෙනෙක් එකතු වෙලා සුවදුක් කතා කරන්න පටන් ගන්න කොටත්, එතන ඉන්න කවුරු හරි කියනවා බයවෙලා වගේ “මචංලා..වඳින්නං..දේශපාලනේ ගැන නං කතා කරන්ඩ එපා..දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නේ..”කියලා. නමුත් නිවැරැදි කතාව ඒක නෙමෙයි. මිනිස්සුන්ට දේශපාලනේ තිත්ත වෙලා නැහැ. තිත්ත වෙලා තියෙන්නේ දේශපාලකයන්වයි. දේශපාලකයින් තරම් තිත්ත නැතුව ඇති මිනිස්සුන්ට පෙරුම්කායම් කෂායවත්.
හැබැයි, රටේ ඉන්න තරමක් ඉන්න දේශපාලකයොත් දැන් ඉන්නේ වල්මත් වෙලා. ඔවුන් කැලේ ඉන්න වල් ඌරෝ වගේ. දඩයම්කරුවන් අටවන වසවිස කන වල් ඌරෝ තිබහ හැදිලා වතුර හොයාගෙන කැලේ කඩාගෙන දුවනවා. අන්න ඒ වගේ බොරු වලින්ම වසවිස හදාගෙන ඒවා කාලයක් පුරා තළු මරමින් කෑව දේශපාලකයෝ දැන් ඒ වස විස වමාරා ගන්න බැරිව වල්මත් වෙලා, හෙම්බත් වෙලා, පිළිසරණක් නැතිව ඉබාගාතේ දුවනවා. එහෙම දුවන එවුන්ට මයික් අල්ලනවා.
වල්මත් වෙලා ඉන්න ජනමාධ්‍යයටත් ඒ හැටිම තේරුමක් නෑ. කියන්නේ මොනවද..? කරන්නේ මොනවද..? කියලා. ඉතින් දුවන වේගයෙන්ම ‘බ්රේක්’ ගහලා කටට එන තවත් පචයක් මයික් එකට අතහැරලා දේශපාලකයා නොනැවතීම දුවනවා. හැන්දෑවට ඒ මහා පච ටික කියන්න රූපවාහිනි ලෑස්ති වෙන්නේ හිරෝෂිමාවට අතහැරිය බොම්බේ තරම් සද්දෙට මුළු ලෝකෙම හොල්ලන තරමේ තේමා වාදනයක් සමග මහා බොරුවේ තද හෙඩිමකුත් මහත් අභිමානයෙන් ප්‍රකාශ කරන්නේ වල්මත් වී, හාමතේ වකුටු ගැහෙන, දේශපාලකයා තිත්ත වී සිටින ජනතාවගේ ඔලු තවතවත් මඤ්ඤං කරමින්.
දැන් ටිකක් කල්පනා කරලා බලන්න; මීට මාස හතරකට ඈත කාලය දිහා. අවුරුදු දෙකකට ඈත කාලය දිහා. අවුරුදු පහකට ඈත කාලය දිහා. අවුරුදු දාහතරකට එහා කාලය දිහා. මේ විදිහට දිගටම හිතන්න. හිතලා..හිතලා..1977 තරමේ නවතින්න. ඊට පස්සේ හිතන්න එදා මෙදාතුර කාලයේ දී තමන්ගේ නිවසේ ආලින්දයේ, සාලයේ, විසිත්ත කාමරයේ හෝ නිදන කාමරයේ බිත්තියක එල්ලා ගෙන උදේ හවස බොහෝම ගෞරව පෙරදැරිව වැඳ නමස්කාර කළ දේශපාලන නායකයාගේ රූපය. මෙවැනි රූප සමහර විට අදටත් නිවසේ සඟවා ගෙන හෝ ගෞරවය පළ කරන මිනිසුන් සිටින්නට පුළුථවනි. ඒකේ කිසිම වරදක් නෑ. මගේ යෝජනාව තමයි ඒ රූපය ගාවින්ම තවත් රූපයක් එල්ලනැයි කරන යෝජනාව. කාගෙද ඒ රූපය ? ඒ තමයි හිට්ලර්ගේ රූපය.
හිට්ලර්ට බොහෝ දෙනා චෝදනා කරනවා. මිනිමරුවා යැයි කියනවා. නිකම්ම නිකම් මිනිමරුවෙක් නෙමෙයි. ජන සංහාරකයෙක් හැටියටයි හඳුන්වන්නේ. තවතවත් චෝදනා තියෙනවා එයාට. දැන් බලන්න අපි ගෞරව කරන දේශපාලකයාගේ සහ හිට්ලර් අතරේ ලොකු වෙනසක් තියෙනව ද කියලා. මට නම් ඒ හැටිම ලොකු වෙනසක් පෙනෙන්නේ නැහැ. මොකද..? හිට්ලර් එළිපිටම ජනතාවට කරපු අපරාධ සියල්ල මේ දේශපාලකයෝ හැංගි, හැංගි, බොහෝම හොර රහසේ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන එමින් සිටින නිසා. මේ මොහොතෙත් මොවුන් ජනතාව අන්දවන ඇන්දවිල්ල දිහා බලන කොට මට නම් හිට්ලර් සහ මොවුන් අතරේ අබමල් රේණුවක තරමේ වෙනසක් පෙනෙන්නේ නැහැ. හිට්ලර් නම් ජනතාව ලක්ෂ ගාණකට බෝම්බ ගහලා වෙඩි තියලා මැරුවා . ශ්‍රී ලංකාවේ දේශපාලකයා එදා මෙදා තුර රටේ ජනතාව නොමරා එම්බාම් කළා . හොඳයි.. බොරුද මං කියන්නේ..?
අනුර හොරේෂස්
(ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් සිට)