අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ(16) ජාතිය අමතා කළ ප්‍රකාශයක් කළේ ය.දේශපාලනඥයන්ගේ කතා වල ඇති ආලවට්ටම් කිසිත් නැති ඒ කතාව මඟින් රටේ සැබෑ ආර්ථික අර්බුදයේ තරම මොනවට පැහැදිලි විය. ඔහු කී අන්දමටම රටේ ආර්ථිකය ඇත්තේ අතිශය අමාරු තැනක ය. රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි තැනකට රට ඇද වැටී ඇත. එහෙත්, අගමැති වරයා එම කතාව මඟින් කිසිවෙකුටත් දොස් නැගුවේ නැත.ආඩපාලි කීයේ ද නැත. “දැන් සැපද?” වැනි කෝචොක් කතා ඇසුවේද ද නැත.මධ්‍යම පාන්තික ව්‍යවහාරික බසින් කිවහොත් ඔහුගේ කතාව”ෆුල් සීරියස්”ය.
අගමැති වරයා මෙලෙස රටේ ආර්ථිකය පවතින තැන කියා සිටියත් එය බොහොමයක් දෙනාට අවබෝධ වී නැති බව සමාජ මාධ්‍ය දෙස බැලූ විට පැහැදිලි ය.නමුත් ඔහු මේ බව මුල් වරට කීයේ ඊයේ කළ විශේෂ ප්‍රකාශය මඟින් නොවේ.වත්මන් විදුලි හා ඉන්ධන අර්බුදය ගැනත් හා එමඟින් ඇති වන සමාජ ආර්ථික බලපෑම ගැනත් ඔහු මුල් වරට කියා සිටියේ ඉකුත් වසරේ අවසාන භාගයේ පාර්ලිමේන්තුවේදී ය.
එහෙත්, බහුතරයට ආර්ථික අර්බුදයේ තරම දැනෙන්නට නම් වාහනයට තෙල් නැතිවිය යුතු ය. කන්න ආහාර නැතිවිය යුතු බොන්න බෙහෙත්,නැති විය යුතු ය. එතෙක්, අපේ රටේ ජනතාවට රටේ ආර්ථික අසාධ්‍ය බවේ තරම දැනෙන්නේ නැත. අගමැතිවරයා කියා සිටියේ පවතින තත්වය යටතේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් මුද්‍රණය කළ යුතු බවකි. එයින් පැහැදිලි වන්නේ රටේ ඩොලර් සේම රුපියල් ද නැති බවකි.
මේ නිසා බැංකු පද්ධතිය පවතින්නේ අධි අවදානමක ය. බැංකුවට ගොස් තවමත් තමන්ට මුදල් ගැනීමට හැකි නිසාත් බොහෝ දෙනෙක් ණය කාඩ් පත් මත යැපෙන නිසාත් ආර්ථික අර්බුදයේ දිග පළල හා ගැඹුර වටහා ගෙන නැත. ඔවුන් ප්‍රශ්න කරන්නේ “කරන්න බැරිනම් බාර ගත්තේ මන්ද?” යන කාරණය යි. කිසිවෙකු එම අවස්ථාවේ රට බාර නොගන්නේ නම් රටට අත්වන ඉරණම ගැන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැහැදිලි කර දුන්නේය. ඉදිරි දින කිහිපය තුළ රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොකළ හොත් තමන් තනතුරෙන් ඉල්ලා අස් වන බව ද ඔහු කීය.මේ අතර අගමැති වරයා අප දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරන අතර ඉදිරියේ දී මීටත් වඩා දුෂ්කර කාලයක් උදා වනු ඇතැයි කීය. එය සත්‍යයකි. රටේ සංචිත කියා දෙයක් ඇත්තේම නැත. තව මාසයක් මෙලෙස ගියා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ආහාර දෙනතුරු සරණාගතයන් ලෙස පෝලිම් ගැසීම හැර කරන්නට අන් දෙයක් අපට ඉතිරි නොවනු ඇත.
ලෝක බලවත් රාජ්‍යයන් ආධාර උපකාර කිරීමට පෙළ ගැසී සිටියත් එය එක රැයින් සිදුවන්නේ නැත. ඒ වෙනුවෙන් යම් කාලයක් ගත වේ. රටේ දැනට පවතින ප්‍රශ්න තුනක් ගැන ඔහු හෙළි කළේය. එනම් ආහාර අර්බුදය, ඉන්ධන හා ගෑස් අර්බුදය මෙන්ම ඖෂධ අර්බුදයයි. ඒ තුනම ජන ජීවිතයට අත්‍යවශ්‍ය කාරණාය. 18 දා පසු වනතුරු පෙට්‍රල් නැතැයි විදුලිබල හා බලශක්ති ඇමතිවරයා ද කියා සිටියේය.
එතෙක් පෝලිම්වලට නොඑන්නැයි ඔහු කීවත් ජනතාව තවමත් පෝලිම්වල තැපගෙන සිටිති.පාරවල් අවහිර කරමින් ඔවුන් තෙල් ඉල්ලා සිටිති. ගෑස් ඉල්ලා සිටිති. එහෙත් ඉල්ලුමට අවශ්‍ය සැපයුම දිය නොහැකි ය. රටේ මෙවන් අර්බුදයක් ඇති වන තෙක් පැවැති ආණ්ඩුව කුමක් කළේද?යන්න ගැන ගැටළුවක් පවතියි. එම ආණ්ඩුව තව මාසයක් පැවැතියා නම් රටේ තත්ත්වය මීට වඩා බිහිසුණු වනු නියත ය.
පැවැති පාලනයේ අකාර්යක්ෂමතාව නිසා එක් දිනක්වත් ගුවන් යානයකට පය තබා නැති මෙරට පුද්ගලයන්ටත් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ බර දරාගැනීමට සිදුව ඇත. එහි පාඩුව වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත.එනිසා එය පුද්ගලීකරණය කළ යුතු බවට අගමැති වරයා යෝජනා කරයි. මෙවැනි කාරණා ජනතාව කැමැති නැත.. එහෙත් එය කළ යුතුව ඇත. එසේ නොකළහොත් නාමිකව හෝ රටට ගුවන් සේවයක් නැති වනු ඇත.
මෙහිදි විපක්ෂයට බරපතල වගකීමක් ඇත. එනම් මෙවැනි කාරණා මත ජනතාව කුපිත නොකිරීම ය. ගුවන් සේවය පෞද්ගලික අංශයට බදු දෙන්නේ නම් එය රටට වාසිදායක ලෙස කර ගැනීමට විපක්ෂය උත්සාහ කරනවා මිස රටේ සම්පත් විකුණනවාය යන පැරණි සටන් පාඨ කියමින් මෙය “අල කරන්නට” ගියහොත් එහි පාපයට විපක්ෂයට ද කර ගැසීමට සිදුවනු ඇත.කුමක් හෝ අනතුරකින් යමකුගේ අත් පා වලට බරපතල හානි සිදු වුවහොත් ඒවා වහා කපා ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කරති.එසේ නොකොට ඒවා එලෙසම තිබෙන්නට හැරිය හොත් එම හානි වල බරපතල කම අනුව හදවතට ලේ සැපයීම අඩාල වී රෝගියා මිය යනු ඇත.රටකට දරා ගත නොහැකි අන්දමේ පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධ තත්වය ද එයයි.නමුදු දෙවනුව ඒ පාඩු ලැබීමට හේතු විධිමත් ලෙස අධ්‍යයනය කළ යුතුම ය.ඒ සඳහා පිළියම් යෙදිය යුතුය.ඒ සඳහා වගකිව යුත්තන්ට දඬුවම් ද ලබා දිය යුතුම ය.
අගමැති වරයා මේ අතරේම ඉක්මණින් ඉටු කළ යුතු තවත් කාරණයක් ඇත. එනම් ආණ්ඩු මාරුවන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම ය. එසේ නොවුණහොත් රනිල් වික්‍රමසිංහ ස්ථාවර කර යන රට ඊළගට පැමිණෙන නායකයා විසින් යළිත් විනාශ කර දමනු ඇත. ඒ මන්ද පෝලිම් නැති වන විට අතට මුදල් එන විට ජනතාවට ආර්ථික ප්‍රශ්න අමතක වී ජාතික ප්‍රශ්න යළි මතු වන බැවිනි.අගමැතිවරයා කියන ආකාරයට හෙළ ගැඹුරු ය. පතුල නොපෙනෙනෙයි.. හුණු වටයේ ගෘෂාගේ කතාව ඔහු කියන්නේ තමන්ට හා රටට මේ මොහොතේ ඇතිව තිබෙන තත්ත්වයට උපමාවක් ලෙස ය.
එහෙත්, රටේ බහුතරයකට මේ හුණු වටය කුමක්දැයි ගෲෂා කවුරුන් දැයි වැටහුණේ නැත.ඒ වෙනුවට වත්මන් අර්බුදය ගැන කීමට අගමැති වරයා අපේ රටේ ගමරාල කෙනකු සම්බන්ධ කතාවක් කීයේ නම් රටේ ජනතාවට ඔහු පවසන කාරණයේ බරපතල කම වඩාත් හොඳින් වැටහෙනු ඇත.එහෙත්.නාගරික ඉහළ පාන්තික සමාජ සම්භවයකට අයත් රනිල් වික්‍රමසිංහ අපේ රටේ ගම්බද “ගම රාලලා”ගැන එතරම් දන්නා බවක් නොහැඟේ.
නමුත් ඔහු ඉදිරිපත් කළ හුණුවටයේ ගෲෂාගේ උපමාව තුළ සැඟවුණු සංවේදී බව සමාජයේ යම් කොටසකට නම් තේරුම් යන්නට ඇත(හුණු වටයේ ගෲෂාගේ කතාව මෙහි අරුමැසි පුවත් තීරයේ පළ වෙයි).අගමැතිවරයාගේ මේ ගෲෂාගේ කතාව සම්බන්ධයෙන් සමාජ ජාල වල විවිධ අදහස් පළ වී තිබිණ.ඒ අතරේ එක් අයකු අදහස් දක්වා තිබුණේ”අපිට මේ විපත්තියෙන් ගොඩ ගෙන්න ඉංග්‍රීසි බැරි පුළුවන් එවුන්ගෙන් වැඩක් නෑ. දැන් අපිට ඕනෙ ඔන්න ඔය වගේ ඉංග්‍රීසියෙන් හිතන්න පුළුවන් එකෙක්” යනුවෙනි.
ලසන්ත වීරකුලසූරිය