අද අප ඔබව එක්කරමින් ගෙන යන්නේ අපේ රටේ තිබෙන ඉතාමත් දර්ශනීය ස්ථානයක් වෙතට. ඒ තමයි හුලංගල කන්ද . නැව්ගල කන්ද ලෙසින්ද හඳුන්වන මෙහි ඉතාමත්ම මනස්කාන්ත පුංචි ලෝකාන්තයත් ද පිහිටා තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කය මායිමේ හුලංගල කන්ද පිහිටා තිබුණත් මෙහි බෑවුම පහළ කෙළවර අයිතිවෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයට. හුලංගල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 1025 ක උසකින් යුතුයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වගේම මාතලේ දිස්ත්‍රික්කයෙනුත් හුලංගල කන්දට ළඟා වන්න පුළුවන්. කුරුණෑගලින් එනවනම් කුරුණෑගල දඹුල්ල පාරේ ඇවිත් තල්ගොඩපිටිය හන්දියෙන් යටවත්ත පාර දෙසට හැරෙන්න ඕනෙ. යටවත්ත පරාක්‍රම විද්‍යාලය ළඟට ආවම සැලගම පාර තියෙනවා. මාතලේ පැත්තෙන් එනව නම් ඒත් මේ විදිහටම යටවත්ත පාරෙන් සැලගම පාරට හැරෙන්න ඕනේ.
බයික් එකකින් හරි වාහනයකින් හරි මේ කන්ද තරණය කළ හැකියි .නමුත් උඩට යනකොට පාර ගොඩක් කැඩිල නිසා සැලගම වතුයායේ ලැයිම් නිවාස ළඟ ඉඳලා කිලෝමීටර් 2 – 3 ක් පමණ වන දුර පයින් යන එක තමයි වඩාත් හොඳ.
ඔබ මේ ගමන එන්නේ ගූගල් මැප් එක දමාගෙන නම් Mini worlds end entrance කියල දාන්න. එතකොට තමයි ඔබට නියම තැනින් ඇතුළුවන්න හැකි වෙන්නේ.
කඳු නගින්න කැමති අයට කුරුණෑගල මදුරාගොඩ පාරෙන් එන එක හරිම චමත්කාරජනක අත්දැකීමක් වේවි.
ටිකට් කවුන්ටරයෙන් රුපියල් සීයක ටිකට් ටිකක් අරගෙන ඔබ හුලංගල කන්ද නැගීම සඳහා මේ වතුයායට ඇතුළු විය යුතුයි. සැලගම වතුයායේ නකල්ස් කඳුවැටිය කෙළවරේ තමයි හුලංගල පුංචි ලෝකාන්තය පිහිටා තිබෙන්නේ.
හරිම චමත්කාරජනක ගමනක් මේක. පුංචි පුංචි දිය ඇලි කඳු පන්ති මැදින් ගලා යන අන්දම දුරට පෙනෙන හැටි හරිම සුන්දරයි. උඩට යන්නට යන්නට පරිසරය වෙනස් වෙනවත් එක්කම සීතල ටික ටික වැඩි වෙනවා. කන්ද උඩ සුලඟ හුඟාක් වැඩියි. කාලගුණය නිතර වෙනස් වෙන නිසා ඈතින් ඈතින් තැන් තැන් වලට වහින හැටි කන්ද උඩ ඉඳලා හොඳින්ම නරඹන්න පුළුවන්.
පුංචි ලෝකාන්තය මුදුනට ගියාම මධ්‍යම පළාත වගේම වයඹ පළාතත් ඉතා හොඳින් දැකගන්න ලැබෙනවා. ඒ වගේම නකල්ස් කඳු පන්තිය, බිසෝගල, දොළුකන්ද, රම්බඩගල්ල වගේම රිදී විහාරය වැනි ස්ථාන ඉතාමත් දර්ශනීය අන්දමින් මෙහි සිට බලන විට දිස් වෙනවා. කෑම්පින් කරන්න කැමති අයට හුලංගල කන්ද ඉතා අපූරු තැනක්.
එහිදී 10 දෙනෙක් දක්වා වන කණ්ඩායමකට රුපියල් 5000 ක මුදලක් අය කරනවා . 10 කට වැඩි නම් වැඩි වෙන හැම
කෙනෙකුගෙන්ම රුපියල් 100 බැගින් අය කරන බවයි දැනගන්න තිබෙන්නේ.
කොහොම වුණත් මේ ගමනේදී ඔබට කූඩැල්ලන්ගේ උවදුරුවලට නම් ලක් වෙන්නම වෙනවා. වැහි කාලයට එය තවත් වැඩියි. ඒ නිසා ඊටත් සූදානමින් යන්න.
ඒ වගේම කන්ද උඩට ආවම සීතල වැඩියි. සුළඟත් වැඩියි . එතැන සිට ඔබට දුර ඈත දර්ශනීය තැන් අපූරුවට දැක බලා ගන්න පුළුවන්. විශේෂයෙන් සිහිතබා ගත යුත්තක් නම් මෙහි ආරක්ෂිත වැටක් නෑ. එනිසා ඔබ ප්‍රවේශම ගැනත් සැලකිලිමත් විය යුතු වෙනවා.
හුලංගලට ආව ඔබ බිසෝ ඇල්ල බලන්න ගියේ නැත්නම් ඒකත් අඩුවක් . සැලගම දෙමළ විද්‍යාලය අසලින් තිබෙන පාටු පාරෙන් වගේම වතු සේවකයන් ගේ නිවාස පේළියට එපිටින් ඇති කෝවිල අසල මාර්ගයෙන් මෙම දිය ඇල්ලට ළඟා විය හැකියි. නකල්ස් හි දූවිලි ඇල්ල, වැලිමඩ බෝඹුරුඇල්ල, රිවර්ස්ටන් සේර ඇල්ල වැනි දිය ඇලිවලදී මෙන්ම බිසෝ ඇල්ලේදීත් වතුර පාරට පිටුපසින් හිඳ දිය ඇල්ලේ අත්දැකීම විඳ ගන්න පුළුවන්.
ඇල්ල පාමුල බොහොම සරුසාරෙට වගා කරපු කෙත්වතු දකින්න පුළුවන්.
මෙම දිය ඇල්ලට බිසෝ ඇල්ල යන නම පට බැඳීම පිළිබඳවත් අපූරු ජනකතාවක් තිබෙනවා.
මෙම ප්‍රදේශයේ රජකම් කළ රජතුමා අසල්වැසි රජකු සමග යුද්ධයට ගියා. රජතුමා යුද්ධයට යාමට පිටත්වීමට පෙර තමන්ගේ බිසෝවරුන් සත් දෙනාට පවසා සිටියේ යුද්ධය දිනුවොත් කන්ද උඩින් සුදු කොඩියක් පෙනෙයි යුද්ධය පැරදුනොත් කළු කොඩියක් පෙනෙයි කියලයි.
කෙසේ හෝ රජතුමා යුද්ධය දිනුවා. ජයග්‍රහණයේ සතුට සමරමින් සිටි රජතුමා රාජ සේවකයෙකුට සුදු කොඩිය ඔසවන්න යැයි පැවසුවත් වැරදීමකින් ඔහු ඔසවා තිබුණේ කළු කොඩියයි. ඈතින් පෙනෙන කළු කොඩිය දුටු බිසෝවරුන් රජතුමා යුද්ධයෙන් පැරදී ඇතැයි මහත් ශෝකයට පත්ව සත් දෙනාම මෙම ඇල්ලෙන් පහළට පැන මිය ගියා. ඒ නිසා මෙයට බිසෝ ඇල්ල නමින් නම පටබැඳුණු බව ජන කතාවල පැවසෙනවා.
ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.
ඉන්දු පෙරේරා