හෘදයාබාධයක් ඇති වීමට හේතුව වන්නේ හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වන රුධිරය සපයන නාල වල අවහිරතාවයන් නිසා රුධිර සැපයුම අඩාල වීම බව දැන් බොහෝ දෙනා දන්නවා. එසේ රුධිර නාල අවහිර වීමට හේතු වන්නේ මොනවාද කියා දන්නවාද? සිරුරේ ක්‍රියාකාරිත්වයට, සෛලවල වැඩීමට කොලෙස්ටරෝල්, මේදය අවශ්‍ය බව අප දන්නා කරුණක්. නමුත් තිබිය යුතු ප්රමාණයන්ට වඩා වැඩි වූ විට මේදය, කොලෙස්ටරෝල් අංශු, කැල්සියම් සහ මියගිය සෛල කොටස් සමග එක්වී කහ පැහැ ඉටි වැනි ද්‍රව්‍යයක් (Plaque) සෑදී රුධිර නාල ඇතුලේ තැන්පත් වෙනවා. කාලයක් තිස්සේ මේ තැන්පත් වීම සිදු වීමෙන් රුධිර නාලයෙන් සෑහෙන ප්‍රමාණයක් අවහිර වෙනවා. එනිසා රුධිර ගමනාගමනය ක්‍රමයෙන් අඩාල වීම ආරම්භ වෙයි. එයින් හෘද පේශියට රුධිරය සැපයුම මදි වීමෙන් පපුවේ වේදනාවන් (Angina pain) ද සමහර විට රුධිර සැපයුමට දැඩි ලෙස බාධා වීමෙන්, රුධිර සැපයුම සම්පූර්ණයෙන්ම නැවතීමෙන් හෘදයාබාධයන්ද ඇතිවන්න පුලුවන්.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 10ත් 15ත් අතර කාලයේදී මේ කොලෙස්ටරෝල් සහ අනෙකුත් ද්‍රව්‍ය තැන්පත් වීම ආරම්භ වෙනවා. නමුත් එම ක්‍රියාවලිය ඉක්මන් වී තැන්පත් වීම වැඩි වේගයකින් සිදුවන්නේ වයසට යන විටයි. නමුත් අවදානම් සාධක හිමි අයට මෙය තරුණ වයසේදීම වැඩි වේගයකින් සිදු වන්න ඉඩ තියෙනවා. අවදානම් සාධක වන්නේ පවුලේ අඩු වයසෙන් හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවයක් තිබීම, කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වී තිබීම, අධික රුධිර පීඩනය හෝ දියවැඩියාවෙන් පෙළීම හා දුම් පානයට හුරු වී සිටීමයි.
මෙසේ කොලෙස්ටරෝල් තැන්පත් වූ රුධිර නාල ඇතුලත පසු කාලීනව කැල්සියම් තැන්පත් වීම ද සිදු විය හැකියි. නමුත් මෙසේ කැල්සියම් තැන්පත් වීම සහ ඔබ ගන්න ආහාරවල ඇති කැල්සියම් ප්‍රමාණයේ සෘජු සම්බන්ධතාවයක් නැහැ. කැල්සියම් යනු මිනිස් සිරුරේ වැඩි වශයෙන් තිබෙන ඛණිජ ලවණයයි. සිරුරේ අස්ථිවල ශක්තිමත් බව පවත්වා ගැනීමට කැල්සියම් අත්‍යවශ්‍යයි. ඉතින් හෘදයාබාධයන් ට බිය වීම නිසා කැල්සියම් ආහාරයට ගැනීම අඩු කිරීම තුලින් අපගේ අස්ථිවල මනා පැවැත්මට හානි කර නොගෙන ඇත්ත වශයෙන්ම කළ යුතු දේ ගැන කල්පනා කරමු.
තෙල් සහිත ආහාර ඕනෑවට වඩා ගැනීමෙන් වැළකීමත්, නිසි ලෙස ව්‍යායාම කිරීමත්, දුම් පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමත්, දියවැඩියා තත්වය සහ අධික රුධිර පීඩනය මනාව පාලනය කර ගැනීමත් තුලින් රුධිර නාල තුල කැල්සියම් තැන්පත් වීමේ අවදානම අඩු කර ගත හැකියි. එසේ නොමැතිව කැල්සියම් අඩංගු ආහාර පාන ගැනීමෙන් වැළකීම හෝ කැල්සියම් පෙති (වෛද්‍යවරයකු නිර්දේශ කර ඇත්නම්) ගැනීම නතර කිරීම කරන්න එපා. එය අනවශ්‍ය පරෙස්සම් වීමකට ගොස් වෙනත් ආබාධයන් වලට ගොදුරු වීමට හේතුවක් වෙනු ඇති.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන