කාබනික පොහොර අර්බුදය මේ වන විට දිගින් දිගටම වර්ධනය වනු මිස විසඳෙන පිළිවෙතක් පෙනෙන්නට නොමැත. ජනාධිපතිවරයා ස්කොට්ලන්තයේ පැවැත්වෙන ලෝක දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වූ අවස්ථාවේ පැවැසුවේ ලංකාව කාබනික පොහොරින් ස්වයංපෝෂිත වන රටක් බවට පරිවර්තනය කරනා බවය.
ස්කොට්ලන්තයේදි ඔහු එසේ කීවද ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. මෙරට ගොවීහු ගොවිතැන පසෙකලා පාරට පැමිණ ඇත්තේ රසායනික පොහොර ඉල්ලමිනි.
ජනාධිපතිවරයා කියන්නේ වී කිලෝවක මිල රුපියල් 150 ක් වන්නේ නම් තමන් කැමැති බවය. නමුත් ඔහුට අමතක වී තිබෙන කරුණ වන්නේ වී කිලෝවක් රුපියල් 150 ට මිලදී ගෙන එය සහල් බවට පරිවර්තනය කොට විකිණිය හැක්කේ කීයට ද යන්නය.
සහල් කිලෝවක් සකස් කිරීම සඳහා වී කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් යෙදවිය යුතුය. එනයින් බලන කල සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇත. වී කිලෝවක් රුපියල් 60 ත් 80 ත් අතර මුදලකට ගන්නා අවස්ථාවේ සහල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 150 ත් 220 ත් අතර මිලකටය.
ගොවීන්ට රුපියල් 150 ක් වී කිලෝවකට ලැබෙන්නේ නම් ඊට කිසිවෙකු විරුද්ධ නැත. නමුත් රුපියල් 350 ට පමණ සහල් කිලෝවක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන්නේ කවුරුන්ද යන්න ගැන ජනාධිපතිවරයා කියන්නේ නැත.
උද්ධමනය සියයට සියයකින් මේ වන විට ඉහළ ගොස් ඇති බව මහබැංකු දත්ත තහවුරු කරයි.
ඊට සාපේක්ෂව ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ ගොස් නැත. වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන ම පවසන අන්දමට බඩු මිල නූල කැඩුණු සරුංගලයකට සමානය. වෙළෙඳ ඇමතිවරයාම එසේ කියන්නේ නම් බඩු මිල ඉහළ යාම ගැන වෙනත් සහතික අවශ්‍ය වන්නේ නැත. භාණ්ඩ මිල තීරණය කිරීමේ බලය ආණ්ඩුව විසින් මේ වන විට සමාගම් වෙත පවරා ඇත.
සහල් ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ තවත් රුපියල් තිහකින් පමණ සහල් මිල ඉහළ දැමීමට සිදුවන බවය. ගෑස්, කිරි පිටි, පාන් පිටි හා සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල මේ වන විට ඉහළ ගොස් තිබේ. එසේවුවද මහජනතාවගේ වැටුප් පත ඉහළ ගොස් නොමැත. එපමණක් නොව කොරෝනා වසංගත සමයේ බොහෝ දෙනෙකුගේ රැකියා අහිමි වී ගොස් තිබේ. රැකියා තිබෙන අයගේත් වැඩි පිරිසකගේ ම වැටුප් කප්පාදුවට ලක් වී ඇත. මේ අතර භාණ්ඩ මිල ඉහළ ගියද ගෑස් හා සිමෙන්ති හිඟයක් වෙළෙඳ පොළ තුළ මතුව තිබේ.
ගෑස් නොමැතිකමින් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටිති. මේ නිසා බොහෝ දෙනෙක් ආහාර නිවසේදී පිස ගැනීම පසෙක ලා හෝටල්වලින් ආහාර ගැනීමට පෙළෙඹ සිටිති. ඒ ගෑස් නොමැතිකම නිසාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබුණේ ගෑස් නොමැතිවීම නිසා තමන් විදුලි උදුනේ බතක් පිස ගෙන පොල්, ලූණු හා මිරිස් කරලක් සමග රාත්‍රී ආහාරය ගත් බවය.
සමාජයේ බොහෝ දෙනෙකුගේ තත්ත්වය එබදුය. ගෑස් සමාගම් දෙකක් ලංකාවේ ඇතත් ඉන් එක් සමාගමක ගෑස් සිලින්ඩරයක්වත් ජනතාවට මිලදී ගැනීමට වෙළෙඳ පොලේ නැත. කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 2800 ක් පමණ වන මොහොතක එම මිල ගෙවා හෝ ගෑස් ගැනීමට වෙළෙඳ පොළේ ගෑස් නැත. කිලෝ 5 ක ගෑස් සිලින්ඩරය රුපියල් 1000 ඉක්මවා ඇතත් එයද වෙළෙඳ පොළේ නොමැත.
සිමෙන්ති ද ඊට සමාන ය. සිමෙන්ති මිලද ඉහළ ගොස් තිබුණ ද වෙළෙඳ පොළේ සිමෙන්ති නැත. මේ නිසා සියලුම ඉදිකිරීම් ඇන හිට හෝ මන්දගාමී වී තිබේ. සිමෙන්ති කොට්ටයක් ලබා ගැනීමට වැලි කියුබ් බාගයක් හෝ ගල් මිලදී ගත යුතුවේ. මෙවැනි කොන්දේසි මත සිමෙන්ති ලබා දෙන හාඩ්වෙයාර්ද නැතුවාම නොවේ. සිමෙන්ති මිලදී ගැනීමට අවශ්‍ය නිසා ජනතාව ගල්, වැලි මිලදී ගැනීමට ද පෙළඹී සිටිති.
කාලයක් කිරි පිටි පැකැට්ටුවක් මිලදී ගැනීමට යෝගට් 5 ක් මිලදී ගැනීමට ජනතාවට සිදු වුණි. ඒ දේශීය යැයි කියා ගන්නා කිරි පිටි නිෂ්පාදන සමාගම්වල අලෙවි කවුළුවලිනි. ඩොලර් හිඟය නිසා මේ තත්ත්වය උද්ගත වී ඇතැයි සිමෙන්ති හා ගෑස් අලෙවි සමාගම් පවසයි. ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (02) සවස මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි. යහපත් පිළිතුරක් ලද බව වෙළෙඳ සංගම් ප්‍රකාශ කළ ද ප්රශ්නය තවමත් එතනමය.
වී කිලෝවක් 150 ට ගැනීමට සුදානම් වන ජනාධිපතිවරයෙක් සිටින ආණ්ඩුවක් යටතේ සමාගම් තීරණය කරන බඩු මිලක් පවතින රටක් නිර්මාණය වීම අරුමයක් නොවන්නේය. ජනතාව දැනට බලාපොරොත්තු තබාගෙන ඇත්තේ නව මුදල් ඇමතිවරයාගේ පළමු අය වැය ලේඛනය දෙසටය. එයින් තමන්ගේ වැටුප් පත වැඩි වෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති. එය යථාර්ථයක් වේද නැති ද යන්න කීමට තවමත් කල් වැඩිය.
ලසන්ත වීරකුලසූරිය