හෙට මැයි දින රැලි පැවැත්වෙන තැන් මෙන්න

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති සහ වෙනත් සංවිධාන පෙළපාලි සහ රැස්වීම් සංවිධානය කොට තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි පෙලපාලියක් නොපැවැත්වීමට තීරණය කර ඇත. ජනහමුවක් පමණක් නුගේගොඩ දුම්රියපොල අසලදී පස්වරු 2.00 ට පැවැත්වෙයි. සමගි ජනබලවේගයේ මැයි රැලිය කොළඹ නිදහස් මාවතේදී පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය ගෝලෆේස් පිටියේදී පැවැත්වෙයි. පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මැයි රැලිය විහාරමහාදේවී එළිමහන් රංග පිඨයේදී පවත්වනු ලැබේ. දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ හවුල්කාර පක්ෂ සමග එකතුවී මඩකලපුවේදී හා කිලිනොච්චියේදී මැයිරැලි දෙකක් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් සංගම් සේවක මූලස්ථානයේදී මැයි රැලිය සංවිධානය කර ඇත. ජනතා විමුක්ති පෙරමුණ බී ආර් සී පිටියේදී මැයි රැලියට එක්වෙයි. ඔවුන් මැයි රැලිය ප්‍රධාන නගර හතරකදී පැවැත්වීමට සැලසුම්කර ඇත. ජාතික නිදහස් පෙරමුණ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී සිය මැයි රැලිය පවත්වන අතර ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය හයිඩ්පාක් පිටියේදී මැයි රැලිය පවත්වනු ලැබේ. මෙම සියලු රැලි පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ප්ලොට් සංවිධානය මීට පෙර වව්නියාවේ වෙනමම මැයි රැලියක් පැවැත්වු නමුත්. මෙවර ඔවුන් කිලිනොච්චියේ පැවැත්වෙන මැයි රැලියට සහායදීමට තීරණය කර තිබේ. ජාතික වෘත්තිය සමිති පෙරමුණ කොළඹ 07 මහජන පුස්තකාලයේදී රැස්වීමක් සහ පෙලපාලියක් සංවිධාන කර ඇත. ලංකා වෙලෙඳ කාර්මික පොදු කම්කරු සංගමය පෙරවරුවේ එම සංගම් මුලස්ථානයේදී රැස්වීමක් පවත්වයි. මේ අතර, ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය මැයි රැලියක් හා කම්කරු පුජාවක් පවත්වනු ලැබේ. පෙරවරු 8.30 ට කොළඹ ලිප්ටන් වටරවුමේ බැප්ටිස්ට් දේවස්ථානය අසලින් ඇරඹෙන පෙලපාලිය කින්සි පාරේ ශාන්ත පාවුඵ දේවස්ථානය දක්වා ගමන් කරයි. එහිදී කම්කරු පුජාව පැවැත්වෙයි. මෙය සංවිධාන කර ඇත්තේ 63 වන වතාවටයි.

කාලීන පුවත්