හොර මහණ කම් ඉහ වහා යන සමයක සැබෑ මහණ දම් ගැන කෙටි විස්තරයක් – කදුරුපොකුණේ සුමංගල හිමි

සමස්ත ශ්‍රී ලාංකේය ජනගහණයෙන් සියයට බින්දුවයි දශම එකයි පහක් හෙවත් තිස් දහසක් පමණ වන භික්ෂු ප්‍රජාවේ අනේක විධ අර්බුද මේ වන විට ජාතික වශයෙන් ඉස්මතු වන කතිකාවන් අතුරින් මුල් තැනට පැමිණ තිබේ. ඊට හේතුව තමන්ගේ සාංසාරික විමුක්තිය අරමුණු කර ගනිමින් පැවිදි වුණු සමස්ත භික්ෂූන් අතුරින් ඉතා සුළුතරයක් හැරුණු කොට සෙසු සියල්ලන් ශාසනික වශයෙන් මංමුලා වී ආන්දෝලනාත්මක පුවත් මවන්නවුන් බවට පත් ව හිඳීම ය. මේ වන විට තත්වය කොතෙක් බරපතල ද යත් සාමාන්‍ය ජනතාව කෝටියක් සංවර ශීලය ලෙස හඳුන්වන භික්ෂු උපසම්පදා ශීලය තබා ගිහියන් විසින් නිති රැකිය යුතු පංච ශීලය වත් සමහර බොහෝ භික්ෂූන් කෙරෙන් දක්නට නොලැබෙන බව වත්මන් භික්ෂු චර්යාවන් ගෙන් සාමාන්‍ය ජනතාවට වුව අතිශයින් පැහැදිලි වී තිබේ. මේ සඳහා වන හේතු කාරණා අතුරින් පැවිදි බව යනු කුමක්ද? යන්න පිළිබඳ පොදු සමාජයීය අවබෝධය මඳ වීම ද හැඳින්වීමට පුළුවන.දැන් එළඹ ඇති තත්වය අනුව පෙනී යන්නේ ඒ පිළිබඳ ප්‍රායෝගික දැනුම් අවබෝධයන් ගිහියන් තුළ තබා බොහෝ පැවිද්දන් තුළ ද නොමැති බව ය. අද වන විට ඔවුන් ගෙන් බහුතරය බුද්ධ ශාසනය ව්‍යාපාර හා ජාවාරම් ජාලයක් බවට පත් කර ගෙන ඇත්තේ ඒ අවකාශය තුළිනි. නමුත් ඉන් බුදු සසුනට හිමි වන හානිය මෙතෙකැයි කිව නොහැක. එබැවින් බුදු සසුනේ පැවිදිවීම යනු කුමක්දැයි බහුතරයක් භික්ෂූන්ට කෙටියෙන් හෝ පහදා දීමේ යුතුකමක් තිබේ.

සාමාන්‍ය ව්‍යවහාරයේ දී “මහණ කම” යනුවෙන් හැඳිවෙන පැවිද්ද සිංහලයේ පිළිපෙරැලියකට ලක් වූ හෙවත් හමණ යන්නෙන් බිඳී ආ එකකි.මේ වදන පාලි භාෂාවේ සමණ ලෙසින් ද සංස්කෘත බසෙහි ශ්‍රමණ ලෙස ද ව්‍යවහාර වේ.මෙහි සරල අරුත ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් සමනය කරන්නා යන්න ය.ඒ අනුව වත්මන් භික්ෂු ප්‍රජාවෙන් කොපමණ කොටසක් එම අරුතට අනුව මහණ කමේ රැඳී සිටිනු ඇත්දැයි ඔබට ද සිතා බැලිය හැක.

ලොව බොහෝ ආගම් වල පූජකවරු ගිහි නමින්ම හැඳින්වෙති. එහෙත්, කිසිසේත් පූජක බවක් නොවන ශ්‍රමණ ප්‍රතිපදා මාර්ගයට අයත් භික්ෂුත්වය හිමි කර ගැනීමේ දී එතෙක් පැවැති ගිහි නම පවා අත හැර ශාසනික වශයෙන් වැදගත් වෙනම නැවුම් පැවිදි නාමයක් ලබා ගැනීම පිළිගත් සම්ප්‍රදායයි.

මෙම මහණ කම හෙවත් පැවිදි බව අපේක්ෂා කරන්නා සියල්ලට පළමුව ස්නානය කොට පිරිසිදු වීමෙන් පසු පැවිදි බව ලැබීමට අපේක්ෂා කරන මහා සංඝරත්නය හමුවට ගොස් තම මාපියන් වෙත් නම් ඔවුන්ගේ පා වැඳ සමු ගෙන පවුලේ මිත්‍රාදීන් පැමිණ ඇති නම් ඔවුන්ගෙන් ද සමු ගෙන තමන් ගිහි ජීවිතය අත හැර වෙනම ජීවිතයකට පිවිසෙන බව දන්වා ඊට අවසර ගත යුතු ය.ලොව බොහෝ ආගම් වල පූජකවරු ගිහි නමින්ම හැඳින්වෙති. එහෙත්, කිසිසේත් පූජක බවක් නොවන ශ්‍රමණ ප්‍රතිපදා මාර්ගයට අයත් භික්ෂුත්වය හිමි කර ගැනීමේ දී එතෙක් පැවැති ගිහි නම පවා අත හැර ශාසනික වශයෙන් වැදගත් වෙනම නැවුම් පැවිදි නාමයක් ලබා ගැනීම පිළිගත් සම්ප්‍රදායයි. අනතුරුව පැවිදි බව අපේක්ෂා කරන්නා මහා සංඝයා ඉදිරියට ගොස් සියලු ම භික්ෂූන්ගේ පා වැඳ සිවුරු අතින් ගෙන උපාධ්‍යායයන් වහන්සේ ඉදිරියෙහි උක්කුටික ව හිඳ වැඳ ගෙන මේ වාක්‍යය කියා පැවිද්ද ආයාචනා යුතු ය.

“ඔකාසා: අහං භන්තෙ, පබ්බජ්ජං යාචාමි.
දුතියම්පි අහං භන්තේ, පබ්බජ්ජං යාචාමි.
තතියම්පි අහං භන්තේ, පබ්බජ්ජං යාචාමි.”

මින් පැවසෙනුයේ තමන් බුද්ධ ශාසනයේ පැවිද්ද ඉල්ලා ආයාචනා කරන බවකි.ඉක්බිති මේ වාක්‍යය කියා පැවිදි බව අපේක්ෂා කරන්නා උපාධ්‍යායයන් වහන්සේ අතට සිවුරු පිළිගැන්විය යුතු ය. අනතුරුව,

“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය.

දුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය.

තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය”.

යනුවෙන් පැවිද්ද ආයාචනා කිරීමේ අරමුණ ද පැහැදිලි කළ යුතු ය. “සකල දුක්ඛයන් ගේ නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පා කොට මේ සිවුරු ගෙන මා පැවිදි කරනු මැනවි.” යන්න එහි අරුත ය. අනතුරුව මතු දැක්වෙන වාක්‍යය නැවත කියා නැවත ද පැවිද්ද ආයාචනා කළ යුතු ය.ඒ අනුව යමකු පැවිදි වනුයේ “සකල දුක්ඛයන් ගේ නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස” බව අතිශයින් පැහැදිලි ය.

සිවුරු ලබා ගත් පසු ද යමකු පැවිදි බවට පත් නොවේ. ඒ සඳහා උත්තරාසංගය ඒකාංශ කොට පෙරවා ගෙන රැස් වූ භික්ෂූන්ගේ පා වැඳ ගුරුවරයා ඉදිරියේ උක්කුටියෙන් හිඳ වැඳ ගෙන තිසරණ සහිත පැවිදි දස ශීලය සමාදන් විය යුතු ය.

මෙලෙස තුන් වන වරත් පැවිද්ද ඉල්ලූ පසු උපාධ්‍යානයන් වහන්සේ විසින් පැවිද්ද අපේක්ෂා කරන්නාට සිවුරු හැඳවීම හෝ කළ යුතු ය. නැතහොත් “මේ සිවුරු මොහුට හඳවන්නය” කියා අනෙකකුට හෝ ඒ සිවුරු දිය යුතු ය. එසේත් නැති නම් “මේවා ගෙන හැඳ ගනුව” යි පැවිද්ද අපේක්ෂා කරන්නාට හෝ ඒ සිවුරු දිය යුතු ය. මේ තුන් ක්‍ර‍මයෙන් කවර ආකාරයකින් සිවුරු දුන්න ද එය භික්ෂුව ගේ දීමක්ම වන්නේ ය. එමෙන්ම සිවුරු හඳනා විට මේ හඳින්නේ පොරොවන්නේ ශීතල වළකා ලනු පිණිස ය, උෂ්ණය වළකා ලනු පිණිස ය, මැසි මදුරු පීඩා වළකා ලනු පිණිස ය යනාදීන් ප්‍ර‍ත්‍යවේක්ෂා කෙරෙමින් ම සිවුරු හැඳීම පෙරවීම කළ යුතු ය. පැවිදි වන තැනැත්තේ ප්‍ර‍ත්‍යවේක්ෂාව නො දන්නේ නම් ගුරුවරයා විසින් එය කියා දෙමින් ම සිවුරු හැඳවිය යුතු ය. නමුත් එසේ සිවුරු ලබා ගත් පසු ද යමකු පැවිදි බවට පත් නොවේ. ඒ සඳහා උත්තරාසංගය ඒකාංශ කොට පෙරවා ගෙන රැස් වූ භික්ෂූන්ගේ පා වැඳ ගුරුවරයා ඉදිරියේ උක්කුටියෙන් හිඳ වැඳ ගෙන තිසරණ සහිත පැවිදි දස ශීලය සමාදන් විය යුතු ය. එම සිල් ආයාචනා කිරීමේ වාක්‍යය මෙසේ ය.මෙය ද තමන් පැවිදි දසසීලයේ පිහිටුවන ලෙස තෙවරක් කෙරෙන ආයාචනයක් මය.

“ඕකාස, අංහ භන්තේ, තිසරණෙන සද්ධිං පබ්බජ්ජා දසසීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. දුතියම්පි අහං භන්තේ, තිසරණේන සද්ධිං පබ්බජ්ජා දසසීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. තතියම්පි අහං භන්තේ තිසරණෙන සද්ධිං පබ්බජ්ජා දස සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්‍වා සීලං දෙථ මෙ භන්තෙ”


මේ වාක්‍යයෙන් තිසරණ සහිත පැවිදි දස සීලය ඉල්ලූ කල්හි “යමහං වදාමි තං වදේථ” යන වාක්‍යය භික්ෂූන් විසින් කියනු ලැබේ. එහි තේරුම, “මා කියන දෙය කියව” යනු යි. පැවිදි වන තැනැත්තා විසින් “ආම භන්තේ” යි පිළිතුරු දිය යුතු ය. “එසේය ස්වාමීනි” යනු එහි තේරුම යි. ඉන් පසු “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යන නමස්කාර පාඨය කිය යුතු වේ. ඉන් පසු ගුරුවරයා විසින් කියවන පරිදි “ම” කාරාන්ත වශයෙනුත් පැවිදි දස සීලය වශයෙනුත් කියා සරණ සමාදන් විය යුතු ය. මෙම “ම කාරාන්ත සරණාගමනය“ සහ “නිග්ගහිතාන්ත සරණාගමනය යොදා ගැනෙනුයේ පැවිදි බව ලබා ගැනීමේ දී පමණි. “බුද්ධම් සරණම් ගච්ඡාමි, ධම්මම් සරණම් ගච්ඡාමි, සංඝම් සරණම් ගච්ඡාමි“ යනුවෙන් “ම්”:හඬින් තිසරණ සමාදන් වීම ඒ මකාරාන්ත සරණාගමනය ලෙස හැඳින්වේ“බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි“ කියා බිංදුව අගට යොදා ශබ්ද කොට කීම නිග්ගහිතාන්ත සරණාගමනය ලෙස හැඳින්වේ. අටුවාවන් හි දැක්වෙනුයේ මේ එක් ක්‍රමයකින් පමණක් පැවිද්ද අපේක්ෂා කරන්නාට හරි හැටි වචන ශබ්ද නොවීමට ඇති හැකියාව මුල් කොට මෙම ශාසන සම්ප්‍රදාය ඇති වූ බවකි.යමකු බොරුවට දිවුරුම් දීමේ දී ඒ දිවුරුම් වාක්‍යය නිවැරදිව උච්ඡාරණය නොවීම මත ඒ දිවුරුම බල රහිත වන බවට සමාජමය විශ්වාසයක් තිබේ.(මේ දිනවල නිතර ශබ්දවාහිනී මඟින් ඇසෙන සුප්‍රකට භාරතීය සංගීතඥ හරිහරන් ඇතුළි පිරිස සජ්ජායනා කරන බුද්ධම් සරණම් ගච්ඡාමි, ධම්මම් සරණම් ගච්ඡාමි, සංඝම් සරණම් ගච්ඡාමි යන නමස්කාර පාඨය මෙම ම කාරාන්ත සරණාගමනය අනුව සැකසී තිබේ-සංස්කාරක )

මෙම තිසරණ සමාදානයෙන් පසු ගුරුවරයා විසින් “සරණාගමනං සම්පුණ්ණං” යි කී කල්හි ගෝලයා විසින් “ආම භන්තේ” (එසේය ස්වාමීනි) යි පිළිතුරු දිය යුතු ය. මේ සරණ සමාදානයෙන් පැවිදි වන තැනැත්තා තුළ සාමණේර භාවය ස්ථාපිත වෙයි. සාමණේර භාවය ලැබූ තැනැත්තා විසින් සමාදන් වුවත් නුවූවත් බුද්ධාඥාව පරිදි සාමනේර දස සීලය රැකිය යුතු ය. එහෙත් වැඩි පරිපූර්ණත්වය පිණිස ආචාර්‍ය්‍යවරයෝ සික පද කියවා සාමණේරයන්ට දසසිල් සමාදන් කරවති. එලෙස සමාදන් කරවීමත් ඒ ඒ ආචාර්‍ය්‍යවරයන්ට කැමති පරිදි කරවති. ලක්දිව බොහෝ ආචාර්‍ය්‍ය වරයන් සමාදන් කරවන ක්‍ර‍මය මෙසේ ය.

පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍ර‍හ්මචරියා වේරමණී. මුසාවාදා වේරමණී, සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී. විකාලභෝජනා වේරමණී, නච්චගීත වාදිත විසූකදස්සනා වේරමණී, මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී, උච්චාසයන මහාසයනා වේරමණී, ජාතරූපරජත පටිග්ගහණා වේරමණී, ඉමානි පබ්බජ්ජා දසසික්ඛාපදානි සමාදියාමි. ඉමානි පබ්බජ්ජා දසසික්කාපදානි සමාදියාමි. ඉමානි පබ්බජ්ජා දසසික්ඛාපදානි සමාදියාමි.

මෙසේ සිකපද සමාදන් කරවීමෙන් පසු ගුරුවරයා විසින් “තිසරණේන සද්ධිං පබ්බජ්ජා දසසීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේතබ්බං” යි කියනු ලැබේ. එකල්හි සාමණේර නම විසින් “ආම භන්තේ”යි කියා පිළිවදන් දිය යුතු ය.ඒ අනුව බෞද්ධ විනයට අනුව පැවිදි බව යනු ආයාචනාවෙන් ඇති කරගත් ප්‍රඥපතියක් මිස කාගේවත් බලෙන් ඇඟේ ගැසූවක් නොවන බව මේ අනුව පැහැදිලිය.

පාළි භාෂාවෙන් ‘පබ්බජ්ජා’ යනුවෙනුත් සංස්කෘත භාෂාවෙන් “ප්‍රවෘජ්‍යා” යනුවෙන් පැවිදි යන පදය දක්වා ඇත. ප්‍ර පූර්ව ව්‍රජ් ධාතුවෙන් නිර්මාණය වී ඇති ප්‍රවෘජ්‍යා යන පදයෙහි අර්ථය පංචකාම සම්පත්තිය නම් ගාලෙන් නික්මීම යන්නයි. එනම් අභිනිෂ්ක්‍රමණය කිරීම හෙවත් ගිහිගෙයින් නික්මීමයි. පැවිදි බවේ ප්‍රථම අදියර සාමනේර නමින් හැඳින්වේ. එය සාමනේර දස ශීලය නම් ශික්ෂාව මත පදනම් වන්නකි. මෙම සාමනේර යන වදන ද බුදු සසුනට පමණක් සීමා වූවක් නොවේ. මෙය ජෛන ආගම් ආදියට පොදු මෙය ශ්‍රමණ බවේ මුල් අවස්ථාව ලෙස නම් කෙරෙන අතර එය සංස්කෘත බසින් ශ්‍රාමනේර ලෙස දක්වා තිබේ. එමෙන්ම ජෛන ආගමෙහි එම ශ්‍රමණ බවේ මුල් අවදිය පසුකරන කාන්තා පාර්ශවය ශ්‍රාමනේරී නමින්ද හැඳින්වෙන අතර ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායන් අනුව භික්ෂුනී ශාසනයක් නොමැතිය යන පදනම මත වත්මන් බුදු සමය තුළ එවැනි වදනක් භාවිතා කෙරේ.

සාමනේර බවින් නික්මී ගිහි හෝ පැවිදි බවට අයත් නොවන”නාග” නම් වන උපසම්පදා අපේක්ෂකයා ඉන් පසුව මෙම උපසම්පදා ශීලයේ පිහිටිය යුතු ය.එම පැවිදි උපසම්පදාව කෙතෙක් ප්‍රබල ද යත් සාමාන්‍ය ජනවහරට අනුව එයට කෝටියක් සංවර ශීලය කියා ද කියනු ලැබේ. නමුදු වර්තමානයේ බහුතර භික්ෂු ක්‍රියාකාරකම් නිසා එම වදන පවා විහිළුවක් බවට පත්ව තිබෙනු දැකිය හැක.

මෙම සාමනේර අවදියෙන් පසු එළඹෙනුයේ පරිපූර්ණ භික්ෂුත්වයක් සනිටුහන් කෙරෙන පැවිදි උපසම්පදාව ය. එහෙත්, මේ සඳහා ද බලහත්කාරයෙන් පිවිසුවීමක් නැත.සාමනේර බවින් නික්මී ගිහි හෝ පැවිදි බවට අයත් නොවන”නාග” නම් වන උපසම්පදා අපේක්ෂකයා ඉන් පසුව මෙම උපසම්පදා ශීලයේ පිහිටිය යුතු ය.එම පැවිදි උපසම්පදාව කෙතෙක් ප්‍රබල ද යත් සාමාන්‍ය ජනවහරට අනුව එයට කෝටියක් සංවර ශීලය කියා ද කියනු ලැබේ. නමුදු වර්තමානයේ බහුතර භික්ෂු ක්‍රියාකාරකම් නිසා එම වදන පවා විහිළුවක් බවට පත්ව තිබෙනු දැකිය හැක. මෙම ශික්ෂාපද මුල් කොට බුදුන් වහන්සේ විසින් බුද්ධත්වයෙන් විසි වන වසරක් සපිරීමේ දී භික්ෂු විනය ප්‍රඥප්ති ගත කොට ඇති අතර එය අදත් ථේරවාදී ත්‍රිපිටක සම්ප්‍රදාය තුළ සුරක්ෂිතව තිබේ. එහෙත් ගැටළුවක් ව පවතිනුයේ වර්තමාන භික්ෂු ප්‍රජාවෙන් බහුතරය ඒ ශික්ෂා මාර්ගයෙන් පිට පැනීමය.

වර්තමාන භික්ෂු ප්‍රජාවේ කොපමණ සංඛ්‍යාවක් ශාසනික වශයෙන් ගෙල සිඳ ගැනීමට තුඩු දෙන ක්‍රියා සිදු කොට තිබේ ද එසේ නොකළ සැබෑ භික්ෂුන් ඇත්තේ කොපමණ සුළු ප්‍රමාණයක් ද කියා තීරණය කිරීම බුද්ධිමත් සමාජයට භාර කරමි.

කිසියම් භික්ෂුවක විසින් ලිංගික සංසර්ගයක යෙදීම, දඬුවමකට යටත් කළ හැකි සොරකමක් කිරීම, මනුෂ්‍ය ඝාතනය සේම තමුන් තුළ උත්තරීතර මනුෂ්‍ය ධර්ම ඇතැයි මුසා බස් දෙඩීම යන කරුණු සතර පාරාජිකාපත්ති හෙවත් භික්ෂුත්වය මුළුමනින් අහෝසි වන වැරදි බව විනය පිටකයේ සඳහන් ය.ඒ සම්බන්ධයෙන් විස්තර කරන අටුවාවේ “හිස සුන් මිනිසකුට ජීවත් විය නොහැක්කාක් මෙන්” යන උපමාවෙන් එහි බරපතල කම සැමට වැටහෙනු ඇත. එමෙන්ම ඒ අනුව වර්තමාන භික්ෂු ප්‍රජාවේ කොපමණ සංඛ්‍යාවක් ශාසනික වශයෙන් ගෙල සිඳ ගැනීමට තුඩු දෙන ක්‍රියා සිදු කොට තිබේ ද එසේ නොකළ සැබෑ භික්ෂුන් ඇත්තේ කොපමණ සුළු ප්‍රමාණයක් ද කියා තීරණය කිරීම බුද්ධිමත් සමාජයට භාර කරමි.

ප්‍රායෝගික වශයෙන් එකම ජන සමාජයක් නියෝජනය කළ ද ගිහි සමාජය හා බුදුන් අදහස් කළ පැවිදි සමාජය අතර පවත්නා වෙනස්කම් දෙලොවක් අතර ඇති වෙනස සිහි ගන්වනු ඇත. ධර්ම විනයානුසාරයෙන් උකහා ගත හැකි කරුණු මගින් එම වෙනස මෙසේ සංක්ෂේපනය කොට දැක්විය හැක.

ගිහියාගේ සැපත ලෞකිකත්වය මත පදනම් වන බහුලත්වය මත පදනම් වන වත්කම ය. එහෙත්, භික්ෂුවගේ සැපත වීතරාගී බව මත පදනම් වන හීන බව හා නැති කම ය. නමුදු මෙය හුදෙක් ශ්‍රමණ ස්වරූපය මිස දිළිඳු කමක් සේ නොතැකිය යුතුය. ගිහියාට සැප ගෙන දෙනුයේ සුවිසල් මන්දිර වල වාසයයි. එහෙත්, කුඩා නිවහන් වල වාසය භික්ෂුව ගේ සැපයයි. වර්තමානයේ මහා මන්දිර බවට පත්ව ඇති පන්සල් යන්න පාලියෙන් ‘පන්න සාලා’ වන අතර එහි අරුත වනුයේ අතු පැළ යන්න ය. එහෙත් මේ වන විට බොහෝ සංඝාවාස යනු සුඛෝපභෝගී වාසස්ථාන බව පෙනෙයි. පරිවාර සම්පත්තිය ගිහියාට මහත් සැපතකි. එහෙත් භික්ෂුවට පරිවාර සම්පත්තියක් අවශ්‍ය නොවනුයේ තනිව මිස පිරිසක් ද කැටුව ආර්ය මාර්ගයේ ගමන් කළ නොහැකි බැවිනි. මෙහි දී භික්ෂුන් “සංඝ” නම් වන හික්ෂුව හුදකලාවේම විසිය යුතුයැයි නොපැවසෙන අතර ඔවුන්ගේ ජීවන පැවැත්ම නිදහස් හුදකලාවක තිබිය යුතු වේ. අන්‍යයන් ගෙන් නොයැපීම ගිහියන් ගේ සැපයක් වන අතර භික්ෂුවගේ සැපය වනුයේ භික්ෂාව හෙවත් අන්‍යයන් ගෙන් යැපීම ය. මෙම භික්ෂා යන්නෙහි පුළුල් අරුතක් පළවන අතර මෙය සිඟා කෑම නොවන බව ද වෙසෙසින් සඳහන් කළ යුතු ය. කාර්යබහුල බව ගිහියන්ගේ සැපය වන අතර කායික මානසික විවේකය භික්ෂුවගේ සැපය බව ධර්ම විනයානුකූලව තහවුරු කර ගත හැක. විචිත්‍රවත් බව ගිහියා ගේ සැපයකි. එහෙත්, භික්ෂුවගේ සැපය වනුයේ චාම් සහ සරල බව ය. නගර වාසය ගිහි සැපයක් වන අතර භික්ෂුව ගේ සැපය ලෙස දැක්විය හැක්කේ ග්‍රාම හෝ වනවාසයයි. මේ සියල්ල අනු දැන වදාළ බුදුන් වහන්සේ විසින් අපේක්ෂා කොට ඇත්තේ භික්ෂුන් සංසාර විමුක්තිය අරමුණු කර ගත් ආර්ය මාර්ගය ඔස්සේ ගමන් කිරීම ය. එමෙන්ම භික්ෂුවක ගිහි සමාජය ඇසුරු කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත් රාශියකි. ‘භික්ෂුවකට දෙවන වරටත් ගිහි ගෙයකට යාමට සිදු වන්නේ නම් ඒ යා යුත්තේ ද මුල් වරට යන්නකු ලෙසිනි” යන්න ඒ අතුරින් එක් බුද්ධ අවවාදයකි.

එහෙත්, තවමත් “මහා සංඝරත්නය” යන සන්නාමයෙන් හඳුන්වනු ලබන ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාවෙන් කොපමණ ප්‍රමාණයක් ඒ නිවැරදි බුදු මඟ ඔස්සේ පා නඟනු ඇත්දැයි ඔබටම සිතා ගැනීමට අවකාශ දෙමින් මේ සටහන නිමා කරනුයේ මේ වන විට භික්ෂුත්වය ද හුදෙක් තම ප්‍රතිරූපය පුම්බා ගැනීමට හා ධනෝපායන මාර්ගයක් ලෙස ප්‍රයෝජනයට ගන්නා ශාසනික ව්‍යවහාරයට අනුව කිවහොත් ව්‍යාජ මහණුන් හෙවත් සද්ධර්ම ප්‍රතිරූපයන් ඉහ වහා යමින් තිබෙන කාල වකවානුවක ය.

කදුරුපොකුණේ සුමංගල හිමි

එතෙර - මෙතෙර