ලංකාවටත් සම්බන්ධ මනි රත්නම් ගේ අලුත්ම සිනමාපටය ‘පොනියින් සෙල්වන්’

ඉන්දියානු සිනමා අධ්‍යක්‍ෂ මනි රත්නම් ශ්‍රී ලංකාවේ සිනමාලෝලීන් අතර ද ජනප්‍රිය සහ ගෞරවයට පාත්‍ර වූ සිනමාකරුවෙක්. ඔහු ගේ රෝජා, නායකන්, තලපති, බොම්බේ ඇතුළු චිත්‍රපට රැසක් මෙරට සිනමා ප්‍රේක්‍ෂකයන් මහත් ආදරයෙන් වැළඳගත් බව රහසක් නොවෙයි. සුප්‍රකට සංගීතඥයන් වන ඉලයරාජා, ඒ.ආර්. රහ්මාන් වැනි අය විසින් මෙම චිත්‍රපට සඳහා නිර්මාණය කරන ලද ගීත ද ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. ඇතැම් සිනමා විචාරකයන් මනි රත්නම් සලකන්නේ වාණිජ සිනමාවේ සහ කලාත්මක සිනමාවේ ලක්‍ෂණ මනාව සංයෝජනය කර අපූරු ‘මැද මාවතේ’ සිනමාවක් ගොඩ නැගූ සිනමාකරුවකු වශයෙනුයි.

මේ දිනවල මනි රත්නම් නැවතත් පුවත් මවන්නකු බවට පත්ව සිටිනවා. ඒ ඔහුගේ අලුත්ම සිනමාපටය ළඟදීම ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත නිසයි. මෙම චිත්‍රපටයේ නම ‘පොනියින් සෙල්වන්’. මෙය ලබන මාසයේ ප්‍රදර්ශණය ආරම්භ කිරීමට නියමිතයි. මෙම චිත්‍රපටය මනි රත්නම් ගේ සිහිනයක් සැබෑ වීමක් හැටියට යි සැලකෙන්නේ.

‘පොනියින් සෙල්වන්’ ලංකාවටත් යම් සම්බන්ධයක් ඇති සිනමාපටයක් ලෙස සඳහන් කරන්න පිලිවන්. මෙම චිත්‍රපටයට පසුබිම් වන්නේ ඈත අතීතයේ ලංකාව ද ආක්‍රමණය කළ රාජරාජ චෝල අධිරාජයා පිලිබඳ කතාවක්. මෙය නිර්මාණය කෙරුණේ කල්කි ක්‍රිෂ්ණමූර්ති නැමැති ලේඛකයා විසින් නවසිය පනස් ගණන්වල ලියන ලද නවකතාවක් පදනම් කරගෙන යි. මෙය පිටු දෙදහස් ගණනකින් සමන්විත ඉතා දිගු නවකතාවක් බව සඳහන්. මෙම නවකතාව ලියන කාලයේ කල්කි ක්‍රිෂ්ණමූර්ති ඇතැම් තොරතුරු ගවේෂණය සඳහා තුන්වතාවක් ශ්‍රී ලංකාවටත් පැමිණ තිබුණා.

‘පොනියින් සෙල්වන්’ හි ප්‍රධාන චරිත රඟපාන්නේ වික්‍රම්, අයිශ්වර්යා රායි, කාර්ති, ජයම් රවි යන අය යි. අයිශ්වර්යා මෙහි ද්විත්ව චරිත නිරූපනයක යෙදෙන බවත් සඳහන්. මනි රත්නම් ගේ බොහෝ චිත්‍රපටවල මෙන්ම මෙම චිත්‍රපටයේත් සංගීතය නිර්මාණය කළේ ඒ.ආර්. රහ්මාන්. චිත්‍රපටයේ කෙටි ප්‍රචාරක විඩියෝවක් ද පසුගිය දා නිකුත් කෙරුණු අතර යූ ටියුබ් අඩවිය ඔස්සේ මිලියන 8 කට ආසන්න පිරිසක් මේ වනවිට එය නරඹා තිබෙනවා. පොනියින් සෙල්වන් හි දැවැන්ත බව, ගාම්භීරත්වය පිලිබඳ හොඳ අදහසක් මේ විඩියෝව තුළින් ලබා ගැනීමට පිලිවන්.

‘පොනියින් සෙල්වන්’ තනි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීම මුලින් මනි රත්නම් ගේ අදහස වුවත් පසුව එය කොටස් දෙකක් ලෙස නිපදවීමට තීරණය කෙරුණා. දැන් ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණෙන්නේ පළමුවැනි කොටස යි. මෙහි රූපගත කිරීම් සඳහා මනි රත්නම් ශ්‍රී ලංකාවටත් පැමිණීමට අදහස් කරගෙන සිටියා. ඒ 2020 වසරේ යි. නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් ක්‍රියාත්මක කෙරුණු සීමාවන් නිසා ඔහු ඇතුළු කණ්ඩායමට ලංකාවට පැමිණීමට නොහැකි වුණා.

නවසිය පනස් ගණන්වල කල්කි ක්‍රිෂ්ණමූර්තිගේ නවකතාව ඇසුරෙන් දෙමළ සිනමාවේ තවත් දැවැන්තයකු වූ එම්. ජී. රාමචන්ද්‍රන් (එම්.ජී. ආර්.) ද චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වූ බව පැවසෙනවා. නමුත් ඔහු හදිසි අනතුරකට මුහුණ දී දිගු කාලයක් එක්තැන්ව සිටීම නිසා එම ව්‍යාපෘතිය අත් හැරීමට සිදුව තිබුණා. මනි රත්නම් මුල් වරට මෙයින් චිත්‍රපටයක් නිපදවීමට සූදානම්ව තිබුණේ නවසිය අනූ ගණන්වලයි. සුප්‍රකට නළු කමක් හසන් එහි රඟපෑමට සිටි බවටත් කතාවක් තිබෙනවා. නමුත් චිත්‍රපටය වාණිජ වශයෙන් සාර්ථක වේවිද යන්න සම්බන්ධයෙන් මතු වූ සැකසංකා නිසා චිත්‍රපටය පිළිබඳ අදහස යටපත් වූ බවයි සඳහන් වන්නේ.

කෙසේ හෝ වේවා, මනි රත්නම් අවසානයේ තම සිහිනය සාක්‍ෂාත් කරගෙන ඇති බව පෙනෙනවා. එය සිනමා ශාලාවලට පැමිණෙනතුරු ඔහුගේ රසික රසිකාවියන් ද මහත් උනන්දුවෙන් බලා සිටිනු ඇති බවට සැකයක් නැහැ.

නිහාල් පීරිස්

රසගඟුල