ඛනිජතෙල් නිෂ්පාදන සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි

ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) ( සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 60 කින් පාර්ලිමේන්තුවේදී අද(18) පස්වරුවේ සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 77ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද දාහතක් පමණි.

ඉන්ධන ආනයනය, සැපයීම සහ බෙදාහැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා IOC සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව සඳහා ලබාදීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.

නමුත් මෙම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා පෙත්සම් තුනක් ඉදිරිපත් වූ අතර එය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දුන්නේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවය.

ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව සම්මත කරගැනීමට කටයුතු කරන බව විෂයභාර අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

එම පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කිරීමට තීරණය කළ අතර ඊට විරෝධය පළකරමින් ඛනිජ තෙල් සේවකයින් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරත වුණි.

ඒ අනුව කොලොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල ඉන්ධන බෙදාහැරීම් මධ්‍යස්ථානවල තෙල් සංස්ථා සේවකයින් අද අසනීප නිවාඩු වාර්තා කර තිබුණි.

කාලීන පුවත්