රජය මහාමාර්ග ලක්ෂයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර එහි පළමු ව්‍යාපෘතිය ලෙස මහා මාර්ග 1500 ක් ඉදි කර අවසන් කළේය. මහාමාර්ග 1500 ක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පසුගිය දා වීරකැටියේදි පැවැත්විණි. එම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියහ.
ජනාධිපතිවරයා එහිදී “සැර”කතාවක් කළ ද අවසානයේ කියා සිටියේ මහාමාර්ග ඉදිකිරීම නතර නොකරන බව ය. ඉදිරියටත් රටේ මාර්ග පද්ධතිය දියුණු කරන බව ද ඔහු කීවේය. මෙහිදි මතුවන ප්‍රධාන කාරණය වනුයේ අද රටේ පවත්නා ප්‍රමුඛ අවශ්‍යතාවය මහාමාර්ග ඉදිකිරීම ද යන්න ය. මෙහිදී ප්‍රධාන වශයෙන් ඉදි කෙරෙන්නේ ග්‍රාමීය මාර්ගයන් ය.
ග්‍රාමීය මාර්ග කාපට් කිරීම මෙහි මුලික වැඩකටයුත්ත වේ. මහාමාර්ග ඉදිකිරීම අයත් වන්නේ යටිතල පහසුකම් සංවර්ධනයට ය. රටට ආයෝජනයක් පැමිණීමට හොඳ මාර්ග පද්ධතියක් අවශ්‍ය බව දේශපාලන අධිකාරිය පුන පුනා කියන කාරණයකි. ආයෝජන කලාප අවට මාර්ග ගත් කළ තවමත් පළමු අදියරේ සංවර්ධනය පමණකි. නඩත්තු සිදුවී නැත. ඊට හොඳම උදාහරණය බියගම ආයෝජන ප්‍රවර්ධන වෙළෙඳ කලාපය ය.
මහාමාර්ග යටිතල පහසුකමක් ලෙස දියුණු කරනුයේ ආයෝජකයාගේ නිෂ්පාදන හැකි ඉක්මණින් වරායට හෝ ගුවන් තොටුපොලට ගෙන යාමට ය. එසේම අමු ද්‍රව්‍ය හා සේවකයන් කඩිනමින් සපයා ගැනීම වෙනුවෙනි. සංවර්ධනය වූ රටක යටිතල පහසුකම් දියණු ය. සෑම මාර්ගයක්ම එක හා සමානය. අබලන් වූ මහාමාර්ග ඉතාම දුලබ ය. ඒ සවංර්ධිත රටක ස්වභාවයකි.
සංවර්ධනය වෙමින් පවතින රටක තත්ත්වය ඊට හාත් පසින්ම වෙනස් ය. එනම් සංවර්ධනය වෙමින් පවතින රටක මූලික අවශ්‍යතාවයන් අතර ප්‍රමුඛතාවය හිමිවන්නේ දරිද්‍රතාවය තුරන් කිරීම ය. අහාර පාන ජනතාවගේ ප්‍රමුඛතම අවශ්‍යතාවය වේ. ලංකාව ද සංවර්ධනය වෙමින් පවතින රටකි. අප කුඩා කළ ඇසුවේත් අපගේ දරුවන්ට ද අනාගතයේ ඉපදීමට සිටින දරුවන්ට ද අසන්නට තිබෙන වාක්‍යයකි. එනම් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්ය යන්න ය.
ශ්‍රී ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වූයේ ජනතාවගේ වරදිනි. ඒනම් ඔවුන් රටට නීති හදන තැනට මෙන්ම රට පාලනයට තෝරා ගත්තේ වැරදි පුද්ගලයන් වීම මෙලෙස වන්නට ප්‍රධානතම හේතුව ය. ඔවුන් දූෂිත දේශපාලනඥයන් ජනාධිපති පුටුවේ හා පාර්ලිමේන්තු පුටුවල අසුන් ගැන්වීම නිසා මේ අය එළිපිටම සොරකම් කිරීමට කටයුතු කළේය.මහාමාර්ග ඉදිවූ පමණින් රටක් සංවර්ධිත රටක් වන්නේ නැත. ඊට බලපාන ප්‍රධාන කරුණ කාරණා රාශියක් තිබේ. බඩු මිල, ඒ්ක පුද්ගල ආදායම යන කාරණා මෙයට බලපායි. නමුත් මෙරට දේශපාලඥයන් සිතා සිටින්නේ රට සංවර්ධිත රටක් වීමට නම් මහාමාර්ග අන් සියල්ලටම පෙර නිසි ලෙස කාපට අතුරා තිබිය යුතු බවට ය. එය දකින විදේශිකයා මෙය සංවර්ධිත රටක් ලෙස සිතනවායැයි ඔවුහු නිගමනය කරති.
ජනතාව ද මාර්ගය කාපට් අතුරා තිබෙන විට පවසන්නේ මොනවා නැතත් පාරවල් ටික නම් සාදා අවසන් බවට ය. රාජපක්ෂවරුන් බලයට පත්වූ විට කරන ප්‍රධාන කාරණාවන් වන්නේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ය. ඉන් මහාමාර්ග ඉදිකිරීම ප්‍රමුඛතම කාර්යයකි. 2005 – 20015 කාලය තුළ රට පාලනය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද කළේ මහා මාර්ග ඉදිකිරීම ය.
ඒම කාලයේදි මහාමාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් කියවුණේ මෙවැනි කාරණයකි. එනම් යුද්ධය වෙනුවෙන් චීනයෙන් මිලදී ගත් ආයුධ යුද්ධය අවසානයේ නැවත චීනයට බාරදීමට යාමේදී ආයුධ ගෙන මුදල් දෙනවා වෙනුවට කාපට් ඇතිරීමට අවශ්‍ය තාර ලබා දුන් බවට ය. කෙසේ වෙතත් එම කාලයේදී ද රට පුරා මාර්ග සංවර්ධනය වූවේ චීන ණය යටතේ ය.
මෙවර මාර්ග ලක්ෂයක් ඉදිකරනුයේ ලෝක බැංකු ආධාර යටතේ ය. ඒ ද යහපාලන ආණ්ඩු සමයේ අත්සන් කළ ගිවිසුමකට අනුව ය. යහපාලන රජයේ අවසන් සමයේ මෙම ගිවිසුමට ලෝක බැංකුව සමග පැමිණ තිබුණි. එම ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් අනුමතව පැමිණියේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ය.
ලෝක බැංකු ආධාර ඇතිව මේ වන විට මාර්ග 1500 ක් නිම කර අවසන් ය. කොවිඩ් හේතුවෙන් රටටම නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබූ මොහොතේ පවා දිවා රෑ නොතකා මෙම ඉදිකිරීම කෙරිණි. රටේ අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන් නිවසට වී සිටිය දී මාර්ග කම්කරුවන් රාජකාරියට වාර්තා කර තිබුණේ මේ කාරණය නොදැන ය.
කෙසේ නමුත් මහාමාර්ග ඉදිකිරීම මෙම ආණ්ඩුව මෙපමණ උනන්දු මන්දැයි ජනතාව නිසි පරිදි සොයා බැලුව හොත් ඔවුනට සත්‍යය වටහා ගැනීම අපහසු නොවේ. මහාමාර්ග ඉදිකිරීම යනු දේශපාලඥයන්ට යම් මුදලක් සාක්කුවේ දමාගැනීමට ඇති පහසුම අවස්ථාවකි. ප්‍රාදේශීය දේශපාලනඥයාගේ සිට ජනාධිපති පදවිය දක්වා එම යාන්ත්‍රණය ගමන් කරනවාට සැකයක් නැත.
මහා මාර්ග යනු ධන උල්පතකි. එය සාක්කුවේ දමා ගැනීමට මෙතෙක් පත්වූ සෑම ආණ්ඩුවකම මහාමාර්ග ඇමතිවරයා කටයුතු කර තිබුණි ද වත්මන් ආණ්ඩුව ද එම මාර්ගයෙන් පිටත යනු ඇතැයි සිතිය නොහැක. ජනතාව ආහාර අහේනියකින් මේ වන විට පීඩා විදිමින් සිටියි. බහුතරයකට අත්‍යාවශ්‍ය භාණ්ඩ නැත. රට තුළ ඩොලර් නැති බැවින් ආනයන නවතා දැමීමට රජය පියවර ගෙන තිබේ.මුදල් තිබුණත් සමහරුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙද පොලේ නැත.
ඒවන් පසුබිමක් යටතේ රජය මහාමාර්ග ඉදිකිරිමට ප්‍රමුඛතාවය ලබා දී තිබේ. අනෙක් ප්‍රශ්න ඇත්තේ දෙවෙනුවට ය. මෙහිදි පැරැන්නන් කියූ ආප්තෝපදේශයක් සිහියට නැගේ. එනම් “නැති බැරි එකා නිවසින් මහ පාරට ඇද වැටෙනු ඇති” බවට ය. පාරවල් හදන්නේ ඒ් වෙනුවෙන් දැයි දැන් ජනතාව ප්‍රශ්න කරන තැනට පැමිණ සිටියි. ජනතාව කන්න නැතුව පාරට වැටුණත් කුසගින්නේ නිදා ගැනීමට වත් කාපට් කළ හොඳ පාරක් තිබෙනවා යැයි කියා ජනතාව සැනසුම් සුසුම් හෙළනු ඇතැයි පාලකයන් සිතන බව පෙනෙයි.
ලසන්ත වීරකුලසූරිය