හෙද සභා නිළවරණයෙන් සමස්ත ලංකා හෙද සංගමයට ජය

ශ්‍රී ලංකා හෙද සේවයේ කටයුතු පිළිබද තීරණ ගනු ලබන හෙද සභා නිළවරණය සඳහා සමස්ත ලංකා හෙද සංගමය ඉදිරිපත් කළ පස් දෙනාගෙන් හතර දෙනෙකුම ජයග්‍රහණය කර තිබේ.එහි ඡන්ද විමසීම පසුගිය 11වන දින දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 32කදී පැවතිණි.හෙද කේෂ්ත්‍රෙය් ප්‍රතිපත්ති හා වැඩපිලිවෙල සකස්කිරීම, සේවකයින්ගේ ස්ථාන මාරුවීම් සහ හෙද සේවයට අදාල විවිධ ගැටළු සදහා තීන්දු තීරණ ගනු ලබන්නේ මෙම හෙද සභාව මගිනි. එය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කරන ලද නිල ආයතනයකි.
සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී. මැදිවත්ත මනාප 4,119ක්, එහි සභාපති ප්‍රභාත් පලිපාන මනාප 3,554ක්, එහි උප සභාපති ඊ.ජේ.කේ.පී අමරණන්ද මනාප 2,415ක් සහ එහි වයඹ පළාත් සංවිධායක අමිල රත්නාවක මනාප 2,470ක් ලබාගෙන තිබේ.
සමස්ත ලංකා හෙද සංගමය ඉදිරිපත් කළ පස් දෙනාගෙන් හෙද සභාව සඳහා තේරී පත් නොවූ සමස්ත ලංකා හෙද සංගමයේ දඹුල්ල රෝහලේ සභාපති උදය සමන් විජේතිලක ද මනාප 1,890ක් ලබාගෙන ඇත. හෙද සභාව සඳහා සභිකයින් 11 දෙනෙකු ඡන්දයෙන් පත්වන අතර තවත් 08 දෙනෙකු නිල බලයෙන් පත් කරනු ලැබේ.
නිල බලයෙන් පත් කරනු ලබනුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එක් අයෙකු, හෙද අධ්‍යක්ෂ විසින් තිදෙනෙකු, මුදල් අමාත්‍යාංශයෙන් එක් අයෙකු, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එක් අයෙකු, සෞඛ්‍ය ඇමතිවරයා විසින් දෙදෙනෙකු වශයෙනි.

කාලීන පුවත්