නව අගමැති රනිල්,දිවුරුම් දීම අද හෝ හෙට

හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ය.මෙම දිවුරුම් දීම අද(12) හෝ හෙට සිදුවීමට ඉඩ ඇතැයි පැවසෙයි.කෘතහස්ත සේම ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් සහිත ශ්‍රී ලාංකේය දේශපාලනඥයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති පදවිය හිමි කර දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.රටේ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගත යුතු කෙටි කාලීන හා දිගු කාලීන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ සාධනීය යෝජනා කෙරෙහි විද්වත් ප්‍රසාදය හිමි ව ඇති අතර ජනාධිපති වරයා ද මුල සිටම ඒ යෝජනා කෙරෙහි ප්‍රසාදය පළ කොට තිබේ.ජනාධිපති වරයා ඒ සඳහා වික්‍රමසිංහ මහතාට ඇරයුම් කොට ඇත්තේ එබැවිනි.නව පත්වීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ඡාව ඊයේ රාත්‍රී පැවැත්වුණු අතර ඒ පිළිබඳ ඉදිරි කටයුතු පිළිබඳව අද (12) පෙරවරුවේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

කාලීන පුවත්