මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ජනපති දුන් කුලපති පදවිය උන් වහන්සේගේ මුවගුළු ලෑමක්ද?

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට පත් කිරීමත් සමග සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැඟී තිබේ.. එම කතිකාවත කොතරම් ද කියන්නේ නම් ජනාධිපතිවරයාට තමන් උන්වහන්සේ පත් කළේ ඇයි ද යන කාරණය ප්‍රසිද්ධියේ කීමට පවා සිදුවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය කතාවෙන් “කියැවුණේ” වත්මන් ආණ්ඩුව පිහිටුවීමට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දැක්වූ සහයෝගය උන්වහන්සේව කුලපති කිරීමට හේතුවක් වූ බවය.ඒ අනුව එය දේශපාලන පත්වීමකි. කොළඹ විශ්ව විද්‍යාලයේ අතීතයේ හැදින්වූයේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය යනුවෙනි.

එහි කුලපති ලෙස පත්වූවේ නිල බලයෙන් අග්‍රාණ්ඩුකාරවරයා ය. අනෙකුත් විශ්ව විද්‍යාලවලට එම තත්ත්වය තිබුණේ නැත.ජේ.ආර් ජයවර්ධන බලයට පැමිණ ඇති කළ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද අග්‍රාණ්ඩුකාරවරයාට තිබූ කුලපතිධූරය ජනාධිපතිවරයා යටතට ගත්තේ ය. එසේම ඔහු වසර කිහිපයක් එහි කුලපති ලෙස ද කටයුතු කළේ ය. ඊට අමතරව රට පුරා තිබූ අනෙකුත් විශ්ව විද්‍යාලයන් හි කුලපති ධූර පත් කිරීමේ බලය ද 1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා යටතට පැමිනුණි.

ඊට පෙර අනෙකුත් විශ්ව විද්‍යාලයන් හි කුලපතිධූර පත්වූයේ විශ්ව විද්‍යාල සනාතන සභාව සාකච්ඡා කිරීමෙන් තෝරා පත් කර ගන්නෙකි. පසුව එය ජනාධිපතිවරයාගේ බලයට යටත් විය. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල කුලපති ධූරයට පත් කරන ලද්දේ සමාජය පිළිගත් ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ තැනැත්තෙකි. සමාජය පිළිගත් උගතෙකු හෝ වියතෙකි.

එම තැනැත්තා ඇතැම් විට ආගමික නායකයෙක් විය. මන්ද මෙය ගරු තනතුරකි. කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීමට පෙර කුලපති ධූරය ඉසිලූවේ ඔස්වල්ඩ් ගෝමිස් හිටපු කොළඹ අගරදගුරුතුමන් ය. උන්වහන්සේ පශ්චාත් උපාධිධාරියෙකි. විදෙස් විශ්ව විද්‍යාල කිහිපයක අධ්‍යාපනය ලැබූ ශාස්ත්‍ර වන්තයෙකි.සමයාන්තර අධ්‍යනයන් පිළිබඳ විශරද වරයෙකි. නමුත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කිසිවක් ප්‍රකාශ වී නැත.

එසේවුව ද විශ්ව විද්‍යාල කුලපතිධූරය පදවිය සඳහා උන්වහන්සේගේ සුදුසුකම් පිළිබද ස්වාධීන රූපවාහිනියේ පැවැති සාකච්ඡාවකදී එහි නිවේදකයා විමසා සිටියයේය.. එහිදී උන්වහන්සේ පෙරළා නිවේදකයාගෙන් විමසා සිටින්නේ “මට ඇති නුසුදුසුකම කුමක්ද?” කියාය.නුසුදුසු කමක් නොමැති වීම සහ සුදුසු කම් ලබා සිටීම වෙන් වෙන් කරුණු දෙකක් බව වත් උන් වහන්සේ දැන සිටියේ නැත. ජනාධිපතිවරයා තමන්ව පත් කළේ ඒ තනතුරට සුදුසු නිසාවෙන් බවද ආනන්ද හිමියෝ කියා සිටියහ.නමුත් ඒ සුදුසු කම ජනපති වරයා රටටම හෙළි කොට අවසන්ය

එම රූප සාකච්ඡාවේදීම උන්වහන්සේ තවත් කාරණයක් කීය.එනම් විශ්ව විද්‍යාලය නිසා තමන් බැබලෙනවා නොව තමන් නිසා විශ්ව විද්‍යාලය බැබලෙන බවකි. උන්වහන්සේ එසේ කියන්නේ කොළඹ විශ්ව විද්‍යලය ගැන නොදැන් විය යුතුය.උන් වහන්සේ කොළඹ විශ්ව විද්‍යලය ගැන නොදන්නවා වුවද ආනන්ද හිමියන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති බව නම් මුළු රටම දනී. එහි සභාපති ධූරය වැඩිම කළක් හෙබවූ පුද්ගලයා ද උන්වහන්සේ ය. එය වසර 50 ක් බව කියැවේ. එනම් ජිවිතයෙන් හරි අඩකටත් වැඩි කලෙකි..

කෙසේ වෙතත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මුලින්ම විරෝධය පළ කළේය.කොළඹ විශ්ව විද්‍යලයීය වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය ද ඊට විරුද්ධ විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මේ වන විට මෙම පත්වීමට විරෝධය පළකර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරන්නේ කුලපතිධූරය යනු රටේ සම්භාවනාවට පත්වූ තැනැත්තෙකු පත් කළ යුතු තනතුරක් බවයි.

එම නිසා කුලපති තනතුරට අවශ්‍ය සුදුසුකම් මාලාවක් සකස් කරන ලෙස ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සියම් නිකායේ කෝට්ටේ පාර්ශවයේ බස්නාහිර පළාත් අධිකරණ සංඝනායක හිමියෝය.ජනාධිපතිට තමන් කැමති ඕනෑම පුද්ගලයෙකු කුලපති ධූරයට පත් කළ හැකිය. එම තැනැත්තා මහ පාරේ සිඟමන් යදින්නකු වුව ගැටළුවක් නැත. සමාජයේ උසස් යැයි පෙන්වා සිටිමින් සොරකම් මැරකම් කරන පුද්ගලයන්ට වඩා අවංකව සිඟමන් යදින්නා වැදගත් පුද්ගලයෙකු බව මාගේ අදහසය. නමුත් එම උදාහරණය ගත්තේ ඕනෑම තැනැත්තෙකු පත් කිරීමට ඇති බලය පෙන්වා දීමට ය.

එසේම විශ්ව විද්‍යාල කුලපති තනතුර විශ්ව විද්‍යාල අධ්‍යාපනය හෝ පරිපාලනය සම්බන්ධ තනතුරක් නොවේ. කළ හැකි එකම දේ නම් උපාධි ප්‍රදානෝත්සවයේ මුලසුන දැරීම ය. ඉන් එහාට යමක් විශ්ව විද්‍යාලය තුළ කිරීමේ බලයක් කුලපති තනතුර දරන්නාට නැත. අඩුම තරමේ සනාතන සභාව නියෝජනය කිරිමට ද කුල පතිට නොහැකිය.

රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිමියන් කුලපති තනතුරට පත්වූ පසු හෙද සංගමයෙන් ඉවත් වන්නේ දැයි කළ විමසීමේදි ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ එවැනි අදහස් නොමැකි බවකි. කෙසේ නමුත් හෙද ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයට වැඩවර්ජනයක් කිරීමට සිදුවුහොත් ඉතිහාසයේ පළමු වතාවට කුලපතිවරයෙකු විසින් වර්ජනය සාධාරණීකරණය කරමින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කරනු ඇත.

වර්ජිත හෙද සංගමයේ සභාපති හා කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස හඳුන්වා දෙමින් මාධ්‍ය උන්වහන්සේගෙන් ප්‍රකාශ ගනු ඇත.කෙසේ වුවද ජනපති වරයා ආනන්ද හිමියන්ට පිරිනැමූ මෙම කුලපති තනතුර උන් වනන්සේ පසු ගිය කාලය පුරාම අගමැති වරයාගේ ගුණ වයමින් ජනාධිපති වරයා දැඩි විවේචනයට ලක් කිරීම වළකා ලනු පිණිස උන් වහන්සේ ගේ මුවට ලූ අගුලක් කියා ද අද බොහෝ දෙනෙක් කියති.

ලසන්ත වීරකුලසූරිය

 

news in sri lanka

එතෙර - මෙතෙර