උල්කාපාතයකින් විය හැකි ලෝක විනාශය වලක්වන්න අත්හදාබැලීමක්

ulka

මෙයට වසර මිලියන 65 කට පමණ පෙර පෘථිවිය මත ජීවත් වූ ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ අභ්‍යවකාශයේ පා වී ආ දැවැන්ත ග්‍රහකයක් (Asteroid) පෘථිවිය සමග ගැටීමෙන් ඇති වූ තත්ත්වයන් නිසා බව විශ්වාස කෙරේ. ග්‍රහක යනු සූර්ය ග්‍රහ මණ්ඩලය තුළ පාවෙමින් තිබෙන, ග්‍රහලෝක නොවන වෙනත් පාෂාණමය ආකාශ වස්තූන් විශේෂයකි. විවිධ ප්‍රමාණයන්ගෙන් යුතු ග්‍රහක අති විශාල සංඛ්‍යාවක් අපගේ ග්‍රහ මණ්ඩලය තුළ මේ ආකාරයෙන් ගමන් කරමින් තිබේ.

අනාගතයේ දවසකත් මෙවැනි ග්‍රහකයක් පෘථිවිය හා ගැටීමෙන් මිහි මත බිහිසුණු විනාශයක් සිදුවීමට ඉඩක් තිබේ ද? මෙය කාලයක සිටම විද්‍යාඥයන්ගේ හිසට වද දෙමින් තිබූ ප්‍රශ්නයකි. මේ වනවිට විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එවැන්නක් සිදුවීමට යම් ඉඩක් ඇති බවයි.

ඩයිනසෝරයන් අතු ගා දැමූ ග්‍රහකය කි.මී. 10 ක (සැතපුම් 6 ක) පමණ විශ්කම්භයක් ඇති යෝධ ග්‍රහකයකි. නමුත් මේ තරම් විශාල නොවන ග්‍රහකයකට පවා පෘථිවිය මත විශාල විනාශයක් කිරීමට හැකියාව ඇති බව පිලි ගැනේ. මෙය ඉතා බියජනක කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙවැනි ඛේදවාචකයක් වලක්වා ගැනීමට හැකියාවක් නැද්ද? මෙම සටහන කියවන බොහෝ දෙනෙකු තුළ නිරායාසයෙන් මෙම පැනය මතුවනු ඇති බවට සැකයක් නැත. මෙවැනි ගැටීමක් වලක්වා ගැනීමට ගත හැකි පියවර කිහිපයක් ගැන මේ වනවිට විද්‍යාඥයන් කල්පනා කර තිබේ. පෘථිවිය හා ගැටෙන ගමන් මාර්ගයක එමින් ඇති ග්‍රහකයක් කල් වේලා ඇතිව හඳුනාගත් විට න්‍යෂ්ටික බෝම්බයක් වැනි අවියක් එය වෙත යවා එය විනාශ කිරීම එක විසඳුමකි. තවත් විසඳුමක් වන්නේ පෘථිවියේ සිට යවනු ලබන යානයක් අධික වේගයෙන් එම ග්‍රහකයේ ගැටෙන්නට සලස්වා එහි ගමන් මග වෙනස් කිරීමයි.

ඉහත කී දෙවැනි විසඳුමට අදාළ ඉතා වැදගත් අත්හදා බැලීමක් පසුගිය දිනවල ඇමරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් විසින් සිදු කරන ලද අතර එය ලොව පුරා විශාල අවධානයක් දිනාගත් කාරණයක් විය. ඈත අභ්‍යවකාශයේ ඇති ග්‍රහකයක යානයක් ගැටෙන්නට සැලැස්වීමෙන් එහි ගමන් මග වෙනස් කළ හැකි ද යන්න මෙහි දී සොයා බැලිණි. මෙම සටහන එම අත්හදා බැලීම සම්බන්ධයෙන් ලියැවෙන්නකි.

මෙම අත්හදාබැලීම සිදු කිරීම සඳහා නාසා විද්‍යාඥයන් තෝරා ගත්තේ පෘථිවියේ සිට කිලෝමීටර මිලියන ගණනක් ඈතින් පිහිටි ඩයිමෝර්ෆස් (Dimorphos) නැමැති ග්‍රහකයකි. පෘථිවියේ සිට යැවෙන යානයක් මෙහි ගැටෙන්නට සලස්වා ඉන්පසු සිදු වන්නේ කුමක්දැයි නිරීක්‍ෂණය කිරීමට විද්‍යාඥයෝ සැලසුම් කළහ. මෙම අත්හදා ලැබීම ඔවුන් හැඳින්වූයේ Double Asteroid Redirection Test හෙවත් (DART) යනුවෙනි.

මෙම DART ව්‍යාපෘතියට අදාළ යානය පෘථිවියෙන් පිටත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ යි. මාස 10 කට ආසන්න කාලයක් තිස්සේ කි.මී. මිලියන 11 කට ආසන්න දුරක් ගෙවා ඩයිමෝෆස් ග්‍රහකය වෙත ළඟා වූ යානය පසුගිය සැප්තැම්බර් 26 වැනි දා ග්‍රහකයෙහි ගැටුණේය. ඒ පැයට කි.මී. 22,000 ක් තරම් අධික වේගයකිනි. එම ගැටුමෙන් යානය ද සම්පූර්ණයෙන් විනාශ විය.

මෙම අත්හදාබැලීමෙන් ලැබුණු ප්‍රතිඵලය පිලිබඳව මෙයට දින කිහිපයකට පෙර නාසා ආයතනය ප්‍රකාශයට පත් කර තිබිණි. ඔවුන් සඳහන් කර තිබෙන්නේ අත්හදාබැලීම සාර්ථක වී ඇති බවයි.DART යානය ගැටීමෙන් ඩයිමෝෆස් ග්‍රහකයේ ගමන් මාර්ගය වෙනස් වී ඇති බව ඔවුන්ට නිරීක්‍ෂණය කිරීමට හැකිව තිබිණි. පෘථිවිය මත මෙන්ම අභ්‍යවකාශයේ ද රඳවා ඇති දුරේක්‍ෂ ආදියෙන් ලැබුණු තොරතුරු විශ්ලේෂණයෙන් ඔවුන් ඒ බව නිගමනය කර තිබේ.

ඉහත කී ඩයිමෝෆස් ග්‍රහකය මීටර 160 ක පමණ විශ්කම්භයක් ඇති ග්‍රහකයකි. එය ඊට වඩා විශාල තවත් ග්‍රහකයක් වටා ගමන් කරමින් තිබෙන්නක් ලෙස සැලකේ. එම විශාල ග්‍රහකය හැඳින්වෙන්නේ ඩිඩිමොස් (Didymos) යන නමිනි. එහි විශ්කම්භය මීටර 780 ක් පමණ බව සඳහන් වේ. ඩයිමෝෆස් ග්‍රහකයට ඩිඩමොස් ග්‍රහකය වටා එක් වරක් ගමන් කිරීමට ගතව තිබූ කාලය පැය 11 ක් සහ විනාඩි 55 කි. නමුත් DART යානය ඩයිමෝෆස් මත ගැටීමෙන් පසු මෙම කාලයෙහි වෙනසක් ඇතිව තිබිණි. දැන් ඩයිමෝෆස් ට එක් වරක් ඩිඩිමස් වටා ගමන් කිරීමට ගත වන්නේ පැය 11 කුත් විනාඩි 25 ක් බව අනාවරණය වී තිබේ. එයින් පෙනී යන්නේ ඩයිමෝෆස් දැන් ඩිඩිමස් වෙත වඩාත් ලංවී ඇති බවකි. එහි සුපුරුදු ගමන්මග වෙනස් වී ඇති බව මෙයින් සනාථ වේ.

අනාගතයේ දිනෙක ග්‍රහකයකින් පෘථිවියට එල්ල විය හැකි තර්ජනයක් වලක්වා ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය යොදා ගත හැකි බව මේ තුළින් මූලික වශයෙන් පෙනී ගොස් තිබේ. නමුත් මෙවැනි තනි අත්හදාබැලීමකින් පමණක් මේ ගැන සියයට සියයක් නිවැරදි නිගමනයකට පැමිණීමට නොහැකි බව ද නාසා විද්‍යාඥයන් පවසා තිබිණි. මේ නිසා ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනයන් සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.

ඉහත කී ක්‍රමවේදය සාර්ථක වීමට නම් පෘථිවිය කරා ගමන් කරමින් තිබෙන ග්‍රහකය වසර ගණනාවකට කලින් හඳුනාගත යුතුය. එය හඳුනා ගැනීමට ප්‍රමාද වුවහොත් මෙම ක්‍රමවේදය භාවිත කිරීමට නොහැකි වනු ඇති බව විද්‍යාඥයන්ගේ අදහසයි. එමෙන්ම ඉතා විශාල ග්‍රහක සම්බන්ධයෙන් මෙම ක්‍රමවේදය සාර්ථක නොවීමට ඉඩ ඇති බව ද සඳහන් වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර