වත්මන් රජය නොව කවුරු රට පාලනය කළ ද ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමඟ ඇති කරගෙන ඇති එකඟතා අනුව එම එකඟතාවන් සමඟ කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.මෙලෙස ඇති කරගත් එකඟතා කෙටිකාලීන ඒවා නොව වසර දහය සහ ඊටත් එහා විය හැකි බව පැහැදිලි කළ අධිපතිවරයා එම එකඟතා අනුව දේශීය ණය ප්‍රශස්තකරණය, විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ස්වෛරීත්ව බැඳුම්කර ණය හිමියන් සමඟ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ තීරණාත්මක තීන්දු ගණනාවක් ගැන යහපත් ප්‍රතිඵල අත්කරගෙන ඇති බව ද සඳහන් කරයි.ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේ රජය විසින් දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගන්නා ණය සහ අරමුදල් කළමනාකරණය කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීම, බැංකු හා බැංකු නොවන මූල්‍ය අංශ බිඳ වැටීම වැළැක්වීමට නව අණ පනත් හඳුන්වා දීම, ත්රස්තවාදයට අරමුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සිදුකරන අතරම ආර්ථික වර්ධනයක් සමඟින් රටේ සමස්ත ආර්ථිකයේ ස්ථායීකරණය ඇති කිරීමේ 2024 වාර්ෂික මූල්‍ය ප්‍රතිපත්ති පෙරදැක්ම ඊයේ (10) ඉදිරිපත් කරමිනි.