
සංස්කෘතිය යනු කාලයත් සමඟ වෙනස් වන ජීවමාන ක්‍රියාවලියකි. එමෙන්ම සංස්කෘතිය යනු අතීතයේ සිට පැවත එන සම්ප්‍රදායන්, විශ්වාසයන්, ඇඳුම් පැළඳුම්, සංගීතය, නර්තනය සහ සමාජ හැසිරීම්වලින් පමණක් සමන්විත නොවේ; නව පරම්පරාව ඒවා අර්ථකථනය කරන හා තම ජීවිතයට ගළපා ගන්නා ආකාරය ද සංස්කෘතියේ අතිශය වැදගත් කොටසකි. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් පැතිර යන “චලරේ චලරේ වාල්” නම් ගීතය ඊට රසවත් උදාහරණයකි. විශේෂයෙන්ම මුස්ලිම් යුවතියන් පවා මෙම ගීතයේ තාලයට නර්තනයේ යෙදෙන වීඩියෝ පළ කිරීමත් සමඟ එය තරුණ පරම්පරාව අතර ජනප්‍රිය වී තිබේ.
එහෙත්, මෙය හුදෙක් තවත් සමාජ මාධ්‍ය ප්‍රවණතාවක් පමණක් නොවේ; සාම්ප්‍රදායික ජන සංගීතයකට නව ලිබරල්වාදී සමාජ ආර්ථිකයක් හා සබැඳුණු නව පරම්පරාව ලබා දෙන නව අර්ථයක්, රූපයක් සහ සමාජ අවකාශයක් පිළිබඳව සිතීමට ඉඩ සලසන කරුණකි.

“චලරේ චලරේ වාල්” යනු මෑතකදී බිහි වූ නව ගීතයක් නොවේ. එය පාකිස්තානයේ දකුණු පන්ජාබ් ප්‍රදේශය ආශ්‍රිතව පවතින සරයිකි (Seraiki) ජන සංගීත සම්ප්‍රදායට අයත් පැරණි ජන ගීයකි. පන්ජාබි භාෂාවට සමාන ශබ්ද රටාවක් ඇති වුවද, සරයිකි යනු තමන්ටම ආවේණික භාෂාමය හා සංස්කෘතික අනන්‍යතාවක් සහිත භාෂාවකි. ප්‍රධාන වශයෙන් දකුණු පන්ජාබ්හි ජනතාව භාවිත කරන එම භාෂාවේ ජන කවි සහ ගීත, එම ප්‍රජාවේ ඉතිහාසය, ආදරය, ජීවන රටාව සහ සාමූහික මතකය රැගෙන එයි.
මෙම ගීතය ඇතැම් අනුවාදවල වෙනත් නම්වලින් ද හඳුන්වනු ලැබේ. එහි පැරණි ජනප්‍රිය ගායකයන් අතර මුහම්මද් හුසේන් බණ්ඩියල්වි සහ පතානේ ඛාන් වැනි සරයිකි ජන සංගීත ශිල්පීන්ගේ නම් සඳහන් වන අතර, ෂෆාඋල්ලා ඛාන් රොක්රි ද එය ජනප්‍රිය කිරීමට දායක වූ ගායකයෙකි.

ජන ගීතයකට බොහෝ විට එක් නිශ්චිත නිර්මාපකයකු හෝ මුල් ගායනයක් හඳුනාගත නොහැක. ඒ එය ගායකයාගෙන් ගායකයාට සහ පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙමින් පැවත එන නිසා ය. එබැවින් මෙම ගීතය ජන සම්ප්රදායේ ජීවමාන නිර්මාණයක් ලෙස සැලකීම වඩාත් සුදුසු ය. එම ගීතය සියවස් ගණනක් පැරණි බවට සමාජ මාධ්‍යවල ඇතැම් විට ප්‍රකාශ වුවද, නිශ්චිත ආරම්භක වර්ෂය හෝ නිර්මාපකයා තහවුරු කිරීමට සාක්ෂි නොමැත. එහෙත් එය නූතන සමාජ මාධ්‍ය යුගයට බොහෝ කලකට පෙර සිට පැවති ගීතයක් බව පැහැදිලි ය.
තරුණියක විසින් තමන් ආදරය කරන තරුණයාගේ රූපය හා ආකර්ෂණය වර්ණනා කිරීම මෙම ගීතයේ මූලික තේමාවයි. එහි භාවිත වන උපමා, වර්ණනා සහ ආදර ප්‍රකාශන දකුණු ආසියානු ජන කවියේ පොදු සෞන්දර්ය ලක්ෂණ නිරූපණය කරයි. එනිසාම අප සමාජයේ තරුණ පෙළ ද මීට වශීකෘතව මේ ගීතයට අනුව රැඟුම් පානු ටික්ටොක් (TikTok) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) වැනි සමාජ ජාල ඔස්සේ දැකිය හැකිය. ගීතයේ පද සහ ඒවායේ අදහස මෙලෙසිනි.

“තූ සාන්වල් ඵූල් කස්තූරී”
“ඔබ තද පැහැති හෝ කළු පැහැති වුවත් කස්තුරි මලක් මෙන් සුවඳවත් හා ආකර්ෂණීයයි” යන්න මෙහි අදහසයි. කස්තුරි සුවඳ උපමාවක් ලෙස යොදාගෙන ආදරය කරන පුද්ගලයාගේ විශේෂත්වය මෙහිදී වර්ණනා කෙරේ.
“තේරී තී ගයි බහු මෂූරී”
“ඔබේ රූපය හා ආකර්ෂණය බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වී තිබේ” යන්න මෙහි අදහසයි.
“ජා-ජා තේ, හර් ජා තේ, පායේ දේන්දේ ලෝක් මිසාල්”
“ඔබ යන යන තැන, ඔබේ රූපය ගැන මිනිසුන් කතා කරති; ඔබට සමාන කෙනකු නැතැයි පවසති” යන්න මෙහි අර්ථයයි.
“චලරේ චලරේ වාල්, මෝඬේ රක්දෑන් කාලී ශෝල්”

මෙහි “වාල්” යන්න හිසකෙස් හෝ රැලි සහිත කෙස් කළඹ සම්බන්ධයෙන් යොදා ගැනෙන අතර, “කාලී ශෝල්” යන්න කළු පැහැති ශෝල් එකක් හෝ උරහිස මත දමාගත් කළු රෙද්දක් හඟවයි. සමස්ත ගීතය තුළින් ප්‍රියතම පුද්ගලයාගේ රැලි සහිත හිසකෙස්, ඇඳුම් පැළඳුම් සහ ආකර්ෂණීය පෙනුම වර්ණනා කෙරේ.
ආදරය ප්‍රකාශ කිරීමේදී සංකීර්ණ දාර්ශනික අදහස් වෙනුවට සරල දෘශ්‍යමය උපමා, සුවඳ, වර්ණ සහ රූපය යොදා ගැනීම මෙහි විශේෂත්වයයි. ඒ නිසාම භාෂාව නොදන්නා අයකුට පවා ගීතයේ හැඟීම තාලය හා ගායන රටාව ඔස්සේ පහසුවෙන් දැනෙයි.

මෙම ජන ගීතය යළිත් ලෝකයේ අවධානයට ලක්වීමට ප්‍රධාන හේතුව වූයේ පාකිස්තාන ගායකයන් වන ෂැන්සි සියල් (Shanzi Sial) සහ මොහ්සින් ලෂාරි (Mohsin Lashari) ඉදිරිපත් කළ නව අකූස්ටික් (Acoustic) ගායනයයි. විදුලි උපකරණ හා සංකීර්ණ සංගීත සැකසුම් අවම කරමින්, ගායකයාගේ හඬ සහ සරල සංගීත භාණ්ඩවල ස්වභාවික හඬ ඉස්මතු කිරීම අකූස්ටික් ගායනයක ස්වභාවයයි. ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් ඔස්සේ වේගයෙන් පැතිර ගිය මෙම ගායනය, ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවල තරුණ පරම්පරාව අතර ජනප්‍රිය වූ අතර, ඊට අදාළ නර්තන, ගායන සහ නිර්මාණාත්මක වීඩියෝ රැසක් මේ වන විට සමාජ මාධ්‍යවල පළ වී තිබේ. ඒ වීඩියෝ බොහොමයක රැඟුම් පාන තරුණියන් හිජාබ් වැනි මුස්ලිම් සම්ප්රදායේ සංවර ඇඳුම් විලාසිතාවලින් සැරසී හිඳිනු ද පෙනෙයි.

අතීතයේදී ගායකයන්, සංගීත කණ්ඩායම්, විවාහ හා ජන උත්සව සහ පවුල් සම්ප්‍රදායන් ඔස්සේ ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට පැතිර ගිය ජන ගීයක්, අද තත්පර කිහිපයක වීඩියෝවකින් ලොව පුරා තරුණ හෝ තරුණියන් වෙත ළඟා වේ. එය සංස්කෘතික හුවමාරුවේ නවතම ආකාරයකි.
ශ්‍රී ලංකාවේ ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත්තේ මුස්ලිම් යුවතියන් පවා එහි තාලයට නර්තනයේ යෙදෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම හේතුවෙනි. සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ ඇතැම් පවුල් හා ප්‍රජාවන් තුළ කාන්තාවන්ගේ ප්‍රසිද්ධ නර්තනය, ඇඳුම් පැළඳුම් සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ විවිධ සීමා හා අපේක්ෂා පැවතිය හැකිය. එහෙත් මුස්ලිම් සමාජය එකම සංස්කෘතික රටාවකින් සමන්විත නොවන අතර, රට, ප්‍රදේශය, පවුල, ආගමික අර්ථකථනය සහ පරම්පරාව අනුව එහි විවිධත්වයක් දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අප රටේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන විද්වත් ලේඛිකාවක වන ෆාතිමා හලල්දීන් පවසා සිටියේ මේවායින් සමහරක් අප රටේ මුස්ලිම් යුවතියන් තම ප්‍රියතාවන් හා කුසලතා මිතුරියන්ට දැක බලා ගැනීම සඳහා යවන ලද මෙම රංගනයන් සහිත වීඩියෝ පට පසුව ඔවුන් විසින් සමාජ ජාලවලට එක් කොට ඇති බවකි.

එබැවින් වීඩියෝ කිහිපයක් පදනම් කරගෙන සමස්ත මුස්ලිම් සංස්කෘතියම වෙනස් වී ඇතැයි හෝ එය “මුස්ලිම් සංස්කෘතික පෙරළියක්” යැයි ප්‍රකාශ කිරීම නිවැරදි නොවේ; එය සමාජ විද්‍යාත්මකව තහවුරු කිරීමට තවදුරටත් සාක්ෂි අවශ්‍ය වන එක්තරා සමාජ සංස්කෘතික ප්‍රවණතාවක් පමණි. එමෙන්ම නර්තනයේ යෙදීම හෝ වීඩියෝවක් පළ කිරීම ආගමික අනන්‍යතාව අත්හැරීමක් ලෙස සරලව අර්ථකථනය නොකළ යුතුය. තම ආගමික විශ්වාසයන් පවත්වාගෙන යන අතරම සංගීතය, නර්තනය සහ නව තාක්ෂණය සමඟ සම්බන්ධ වීමට පුද්ගලයකුට හැකිය. එවැනි වීඩියෝවලින් නව පරම්පරාවේ තරුණියන් තම සතුට, නිර්මාණශීලීත්වය සහ සමාජ සම්බන්ධතා ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි අතර, මෙම සංසිද්ධිය ජනප්‍රිය සමාජ විද්‍යා (Popular Sociology) ක්ෂේත්රයේ මනා කියැවීමකට ද ඉඩ සලසයි. නමුත් අප සමාජයේ මෙබඳු සංවාදයන් අතිශය විරලය.

පාකිස්තානයේ සරයිකි ජන ගීයක් ඉන්දියානු තරුණ තරුණියන්ගේ සමාජ මාධ්‍ය වීඩියෝවලට පසුබිම් සංගීතය වීම, දේශපාලන හා භූගෝලීය දේශසීමා ඉක්මවා ගිය සිදුවීමක් සේම, දකුණු ආසියානු ජන සංගීතයේ පොදු මූලයන් සිහිපත් කරයි. තවද, මෙම ගීතයේ තාලය 1994 වසරේ තිරගත වූ හින්දි චිත්‍රපටයක එන ගීතයක තාලයට සමාන බවට ඇතැම් ශ්‍රාවකයන්ට හැඟුණද, ඊට සංගීතමය හෝ ඓතිහාසික සම්බන්ධතාවක් ඇති බවට නිශ්චිත සාක්ෂි නොමැත. භාෂාව නොදන්නා අයකුට පවා තාලය, ගායනය සහ හැඟීම හඳුනාගත හැකි වීම සංගීතයේ ඇති මානවීය බලය පෙන්නුම් කරයි.

සමස්තයක් ලෙස ගත් කල, “චලරේ චලරේ වාල්” යනු පැරණි සරයිකි ජන සංගීත සම්ප්‍රදායෙන් බිහි වූ, ආදරය හා රූප සෞන්දර්යය වර්ණනා කරන ජීවමාන ජන ගීයකි. සමස්ත මුස්ලිම් සංස්කෘතියේ පෙරළියක් හෝ සියවස් ගණනක් පැරණි බවට තහවුරු නොවූ ප්රකාශයන්ට වඩා, මෙය පැරණි ජන ගීයක් නව තාක්ෂණය ඔස්සේ යළි ජීවමාන වූ සංස්කෘතික සිදුවීමක් ලෙස හඳුනාගැනීම වඩාත් සාධාරණය. අද ටික්ටොක් හෝ ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවකින් ඇසෙන මෙම ගීතය, හෙට දවසේ සරයිකි ජන සංගීතය පිළිබඳව ලෝකයේ තවත් බොහෝ දෙනකුට දැනගැනීමට මඟ පෙන්විය හැකිය. එබැවින් මෙය හුදෙක් වෛරල් වූ ගීතයක් නොව, පැරණි ජන සම්ප්රදායක් නව පරම්පරාව සමඟ නැවත සංවාදයකට පැමිණීමකි.
මුල් ගැයුම
නව ගැයුම
ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය