දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයක් සඳහා පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මේ අතර ප්‍රධාන ජලාශ 23ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 15ක් ඇතුළු ජලාශ 38ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාර්තා වේ.පස් කඳු කඩා වැටීමේ අවදානම සහ මාර්ගයට පස් හා ගල් වැටීම හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න සහ කඩුගන්නාව අතර කොටස හෙට (16) උදෑසන 6.00 දක්වා වසා තැබීමට පියවර ගෙන තිබේ.ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනතුරු ඇඟවීම් අනුව බදුල්ල, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක් සඳහා පළමු මට්ටමේ (කහ) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එම ප්‍රදේශ අතර ඇල්ල, බණ්ඩාරවෙල, පස්සර, අරණායක, මාවනැල්ල, යටිනුවර, උඩුනුවර, නෝර්වුඩ් සහ අඹගමුව කොරළේ ද වේ.පළමු මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් අදහස් වන්නේ පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් වර්ෂාව තවදුරටත් පැවතුණහොත් නායයෑම්, ගල් පෙරළීම්, බෑවුම් කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් ඇතිවීමේ හැකියාව පිළිබඳව විමසිලිමත් විය යුතු බවයි.මේ අතර, වාන් දමන ප්‍රධාන ජලාශ 23න් ජලාශ 11ක වාන් දොරටු විවෘත කර ඇති අතර මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 15න් ජලාශ දෙකක ද වාන් දොරටු විවෘත කර තිබේ. මනන්කට්ටිය, රාජාංගණය, යාන් ඔය, සොරබොර වැව, බන්ඩගිරිය, ලුණුගම්වෙහෙර සහ දැදුරු ඔය ඒ අතර වේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි බෙංගාල බොක්කේ ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි අඩු පීඩන කලාපය වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාව ඇතිවීමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ජනතාව ඒ පිළිබඳව ද අවධානයෙන් පසුවිය යුතුය.නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට වැසි තත්ත්වය පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසත්, නිවාස අවට භූමියේ ඉරිතැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම් සහ ජල උල්පත් හදිසියේ මතුවීම වැනි ලක්ෂණ දක්නට ලැබුණහොත් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසත් බලධාරීහු උපදෙස් දෙති.