‘අක්වාන්’  දැඩි සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

 

බෙංගාල බොක්කේ පවතින ‘අක්වාන්’ (Akvan) සුළි කුණාටුව මේ වන විට දැඩි සුළි කුණාටුවක් (Severe Cyclonic Storm) දක්වා වර්ධනය වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ධීවර හා නාවික ප්‍රජාවට මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදන අනුව, ඊයේ (18) රාත්‍රී 11.30 වන විට අක්වාන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 740ක් පමණ ඊසාන දෙසින් දකුණු සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ කේන්ද්‍රගතව පැවතිණි. එය  පැයට කිලෝමීටර 5ක පමණ වේගයෙන් ඉදිරියට ගමන් කරමින් පවතින අතර, එහි උපරිම ස්ථාවර සුළං වේගය පැයට කිලෝමීටර 90-100ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර 110ක් දක්වා ඉහළ යා හැක. මෙම සුළි කුණාටුව තවදුරටත් උතුරු වයඹ දෙසට ගමන් කර හෙට (20) දහවල් 11.30 පමණ වන විට ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය අතරින් ගොඩබිමට ඇතුළු වීමට ඉඩ ඇති බවට පුරෝකථනය කර තිබේ.ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යොමුවන ලෙස ද උපදෙස් දී තිබේ.මේ අතර, අද (19) දිනයේ ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ ද, කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත් 55ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව ද සඳහන් කර තිබේ.එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර තාවකාලික තද සුළං සහ ඉතා රළු මුහුදු ස්වභාවයක් ඇති විය හැකි බවට ද අනතුරු අඟවා ඇත.එබැවින් ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

කාලීන පුවත්