අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස කිසිදු ආකාරයකින් මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී විද්‍යාත්මකව තහවුරු වී ඇත.අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව සැකකරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර මෙම විශේෂ වෛද්‍ය පරීක්ෂණය සිදු කර තිබේ. එහිදී සිදු කළ රසායනාගාර හා ශාරීරික පරීක්ෂාවලදී අදාළ පිරිස මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට නිගමනය කර ඇති බවත්, ඒ බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පොලිසිය වෙත නිල වශයෙන් දැනුම් දුන් බවත් අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කර ඇත. මෙම සිද්ධියට අදාළව භික්ෂූන් වහන්සේ සිව්නමක් සහ ගිහියන් තිදෙනකු ඇතුළු හත්දෙනකු නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නොවැම්බර් 13 වැනිදා නියෝග කර තිබිණි. ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න සොයා බැලීම සඳහාත්, මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමටත් අධිකරණය එහිදී නියෝග කර තිබිණි. යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබුණේ නොවැම්බර් 7 වැනිදාය. පසුව එය මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය වූ අතර, එම ස්ථානයෙන් ඉවත් වන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබූ පසුබිමක, එම ස්ථානයට රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු කිහිප දෙනකු පැමිණීමත් සමඟ නොවැම්බර් 12 වැනිදා ගැටුම හටගෙන තිබිණි. එම ගැටුමෙන් රාජාංගනයේ සද්ධාරතන හිමියන් තුවාල ලැබීමත් සමඟ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.