උඩරට මැණිකේට නුවරට එන්න අලුත් පාරක්; රඹුක්කන–හතරලියැද්ද–පිටියේගෙදර ඔස්සේ නව දුම්රිය මාර්ගයක අවශ්‍යතාව


සොබා සිරියෙන් අනූන සබරගමු නිම්න තලාවට මායිම්ව පිහිටි කඩුගන්නාව කඳුකර දුම්රිය මාර්ගයේ දෙපස දර්ශන දෙස් විදෙස් සංචාරකයන්ගේ දෙනෙත් පිනවන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් නිරන්තරයෙන් සිදුවන නායයෑම්, ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීම් හමුවේ කඩුගන්නාව ආශ්‍රිත කොළඹ–මහනුවර දුම්රිය සම්බන්ධතාවයේ දිගුකාලීන ආරක්ෂාව සහ තිරසාර පැවැත්ම පිළිබඳව අලුතින් සිතීමට සිදුව තිබේ.

ඒ අනුව, දැනට පවතින මාර්ගය වරින්වර අලුත්වැඩියා කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී, රඹුක්කන සිට හතරලියැද්ද, ගලගෙදර සහ පිටියේගෙදර (වත්තේගම ආසන්නය) ඔස්සේ යටවර ඔය නිම්නය ආශ්‍රිතව මහනුවරට පිවිසෙන විකල්ප දුම්රිය මාර්ගයක් පිළිබඳව විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම කාලීන ජාතික අවශ්‍යතාවකි.

එසේ නොකළහොත්, අතිවිශාල මුදලක් වැය කර කඩුගන්නාව දුර්ගය ආශ්‍රිත දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කළ පසුවද එහි භූවිද්‍යාත්මක අවදානම් හේතුවෙන් යළිත් බරපතළ ආපදා ඇති නොවන බවට සහතික වීමට කිසිවකුටත් නොහැකි වනු ඇත.

ඉතිහාසයේ ද සැලකිල්ලට ගත් විකල්ප මාර්ග

කොළඹ–මහනුවර දුම්රිය මාර්ගය ඉදිකිරීමේ මුල් අවධියේදී කඩුගන්නාව දුර්ගය පමණක් නොව, වෙනත් මාර්ග පිළිබඳව ද ඉංජිනේරු අධ්‍යයන සිදු කර තිබේ. 1846 දී ඉංජිනේරු ඩ්‍රේන් විසින් ගලගෙදර, හිඟුල සහ අලගල්ල ආශ්‍රිත මාර්ග විකල්ප පිළිබඳව සලකා බැලූ බවත්, 1857 දී කපිතාන් මුවර්සම් විසින් හිඟුල මාර්ගය පිළිබඳව අවධානය යොමු කළ බවත් ඉතිහාස වාර්තාවල සඳහන් වේ.

කෙසේ වෙතත්, ඉදිකිරීම් පිරිවැය සහ එවකට පැවති කෝපි වගා ප්‍රදේශවලට දුම්රිය මාර්ගය ළඟා කරවීමේ අවශ්‍යතාව ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් 1862 දී දෙකඳ කඩුගන්නාව මාර්ගය තෝරා ගනු ලැබීය. වත්මන් මාකෙහෙල්වල උප දුම්රිය ස්ථානය පසු කළ විට හමුවන කඳු දෙකක් යා කෙරෙන දෙකඳ බැම්ම මතින් දුම්රිය ගමන් කළ ද එහි යටගියාව අද බොහෝ දෙනෙක් නොදනිති. එමෙන්ම අද දක්වා භාවිත වන කඩුගන්නාව දුර්ගය ආශ්‍රිත දුම්රිය මාර්ගය එම තීරණයේ ප්‍රතිඵලයකි.

රඹුක්කන සිට කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ගය කිලෝමීටර් 21කට ආසන්න දුරක් තුළ මීටර් 426ක පමණ උස වෙනසක් තරණය කරයි. එහි දිගු කොටසක බෑවුම 1:45 පමණ වන අතර, තියුණු වංගු සහ කඳු බෑවුම් ආශ්‍රිතව ඉදිකර ඇති මාර්ගය අධික වර්ෂාපතනයේදී විශේෂ අවදානමකට ලක් වේ.

වත්තේගම
වත්තේගම

2025 නොවැම්බර් මාසයේදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරට දුම්රිය ජාලයට බරපතළ හානි සිදු විය. දුම්රිය මාර්ගයේ ස්ථාන 223කට හානි සිදුව ඇති බවත්, සමස්ත දුම්රිය ජාලයට සිදු වූ හානිය රුපියල් බිලියන 69ක් පමණ වන බවත් වාර්තා විය.

2026 ජනවාරි මාසයේදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළ පරිදි, රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 74ක් පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබිණි. පේරාදෙණියේ ‘යකා පාලම’ ලෙස ප්‍රකට පාලම නැවත ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 18ක් පමණ වැය වනු ඇතැයි ද සඳහන් විය.

මෙතරම් විශාල මුදලක් වැය කර මාර්ගය ප්‍රතිසංස්කරණය කළද, එහි භූවිද්‍යාත්මක අවදානම සම්පූර්ණයෙන්ම පහව යන්නේ නැත. එබැවින් පවතින මාර්ගය ආරක්ෂිතව පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු සිදු කරන අතරම, විකල්ප මාර්ගයක් පිළිබඳව ද සැලසුම් සහගතව සොයා බැලීම අත්‍යවශ්‍ය වේ.

මෙම ගැටලුවට විකල්පයක් ලෙස 2017 වසරේදී ශ්‍රී ලංකා ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයට අදාළ ආයතන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් කොළඹ–මහනුවර දුම්රිය ගමනාගමනය සඳහා කඩුගන්නාව මඟහැර යා හැකි විකල්ප මාර්ග පිළිබඳව අවධානය යොමු කර තිබිණි.

එම යෝජනා අතර ගලගෙදර ඔස්සේ මහනුවරට පිවිසෙන මාර්ගයක් මෙන්ම, යටවර ඔය නිම්නය ඔස්සේ පිටියේගෙදර ප්‍රදේශයට ළඟා වී මහනුවරට සම්බන්ධ වන මාර්ගයක් ද සඳහන් වේ (ඇතැම් ලේඛනවල මෙම යටවර ඔය යටවත්තේ ඔය ලෙස ද දක්වා ඇතත් එය නිවැරදි නොවේ).

රඹුක්කන, හතරලියැද්ද, ගලගෙදර සහ පිටියේගෙදර ප්‍රදේශවල භූමි උස ක්‍රමයෙන් වැඩි වන බව සැලකිල්ලට ගත් විට, යටවර ඔය නිම්නය ආශ්‍රිත භූමිය දුම්රිය මාර්ගයක් සඳහා ස්වාභාවික කොරිඩෝවක් ලෙස සලකා බැලිය හැකිය. එහෙත් එය දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සුදුසු බවට නිගමනය කිරීමට පෙර, එහි බෑවුම්, පාෂාණ ස්ථාවරත්වය, ගංවතුර අවදානම සහ ඉවුරු ඛාදනය පිළිබඳව විද්‍යාත්මකව පරීක්ෂා කළ යුතුය.

මෙහිදී පිටියේගෙදර සහ යටවත්තේ ඔය (යටවර ඔය) යන ස්ථාන නාමයන් පැරණි ඉංජිනේරු ලේඛනවල සඳහන් මාර්ග නාම හා සම්බන්ධ කර පරීක්ෂා කිරීම ද වැදගත් වේ. එම ලේඛනවල භාවිත වූ ඉංග්‍රීසි ස්ථාන නාමවල නිවැරදි අක්ෂර වින්‍යාසය සහ ඒවා අද භාවිත වන ස්ථාන නාම සමඟ ඇති සම්බන්ධතාව තහවුරු කර ගැනීම සඳහා මුල් ලේඛන පරීක්ෂා කළ යුතුය.

කඩුගන්නාව දුර්ගය මඟහැර නව විකල්ප දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ හැකියාව තහවුරු වුවහොත්, රටට ප්‍රතිලාභ රැසක් හිමි විය හැකිය.

පළමුව, තියුණු වංගු සහ දැඩි බෑවුම් අඩු කළ හැකි මාර්ගයක් සැලසුම් කිරීමට හැකි වුවහොත්, කොළඹ–මහනුවර දුම්රිය ගමන් කාලය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට ඉඩ සැලසේ. 2017 දී ඉදිරිපත් වූ විකල්ප මාර්ග යෝජනා සම්බන්ධයෙන් ද විනාඩි 90කට අඩු ගමන් කාලයක් ලබා ගැනීමේ හැකියාව සඳහන් කර තිබුණද, එය නව මාර්ගයේ නිශ්චිත සැලසුම්, දුම්රිය වේගය, නැවතුම් සහ මෙහෙයුම් ක්‍රම මත තීරණය කළ යුතු කරුණකි.

එමෙන්ම නව මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස ඉදිකිරීමේ හැකියාව ද අධ්‍යයනය කළ හැකිය. එය දුම්රිය ධාවන ධාරිතාව වැඩි කිරීමටත්, අනාගතයේදී විදුලි දුම්රිය සේවා හඳුන්වා දීමටත් පහසුකම් සැලසිය හැකිය.

තවද හතරලියැද්ද, ගලගෙදර සහ පිටියේගෙදර වැනි ප්‍රදේශවලට දුම්රිය ප්‍රවේශය ලැබීමෙන් කෘෂිකර්මාන්තය, වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය දියුණු වීමට අවස්ථාව සැලසෙනු ඇත.

මෙම මාර්ගය වත්තේගම ප්‍රදේශයෙන් මාතලේ දුම්රිය මාර්ගයට සම්බන්ධ කළ හැකිද යන්න ද විමසා බැලිය හැකිය. එසේ කළ හැකි නම් වත්තේගම දුම්රිය ස්ථානය ආශ්‍රිතව දුම්රිය සන්ධියක් ඇති කිරීමේ හැකියාව පවතින නමුත්, එය මාර්ග සැලසුම් හා මෙහෙයුම් අවශ්‍යතා අනුව තීරණය කළ යුතුය.

කෙසේ වෙතත්, නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට පෙර සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ඩිජිටල් භූමි උස ආකෘති (Digital Elevation Models – DEM) මඟින් භූමි උස සහ භූවිෂමතාව මැනීම, දුම්රිය මාර්ගයට ගැළපෙන බෑවුම් අනුපාත (Gradient) සහ වංගු අරය (Curve Radius) සැලසුම් කිරීම, පාෂාණ ස්ථාවරත්වය පරීක්ෂා කිරීම සහ පාලම් හා උමං ඉදිකිරීමේ අවශ්‍යතා සොයා බැලීම කළ යුතුය.

එසේම ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරමින්, කෘෂිකර්මාන්තයට සහ ජනාවාසවලට සිදුවිය හැකි බලපෑම් ද විමසා බැලිය යුතුය. විධිමත් පාරිසරික බලපෑම් ඇගයීමක් (Environmental Impact Assessment – EIA) සිදු කිරීමත්, ඉඩම් අත්පත් කර ගැනීමට සිදුවන අවස්ථාවලදී ජනතාවට සාධාරණ වන්දි ලබා දීමත් අනිවාර්ය වේ.

මේ අතර, වසර 159කට ආසන්න ඉතිහාසයක් ඇති රඹුක්කන–කඩුගන්නාව දුම්රිය මාර්ගය අත්හැර දැමීම වෙනුවට, ආරක්ෂිතව පවත්වාගෙන යා හැකි කොටස්වල එහි ඓතිහාසික සහ සංචාරක වටිනාකම ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ද සලකා බැලිය හැකිය.

කඳුකර දුම්රිය මාර්ගවලට ගැළපෙන සැහැල්ලු දුම්රිය කට්ටල යොදා සංචාරක හෝ උපස්ථ සේවාවක් පවත්වාගෙන යෑම පිළිබඳව අධ්‍යයනය කළ හැකි නමුත්, එවැනි සේවාවක් ආරම්භ කිරීමට පෙර මාර්ගයේ ආරක්ෂාව, තාක්ෂණික ගැළපීම සහ නඩත්තු පිරිවැය තක්සේරු කළ යුතුය.

අවසාන වශයෙන්, නව දුම්රිය මාර්ගයක් පිළිබඳ තීරණය ගත යුත්තේ ඉදිකිරීම් පිරිවැය පමණක් සැලකිල්ලට ගනිමින් නොවේ. ඉදිරි වසර 30–50 තුළ නඩත්තු වියදම්, ආපදා අවදානම්, දුම්රිය ධාවන ධාරිතාව සහ පාරිසරික බලපෑම් ද සැලකිල්ලට ගත යුතුය.

රජය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ ඉංජිනේරු විශේෂඥයන් එක්ව රඹුක්කන සිට හතරලියැද්ද, ගලගෙදර සහ පිටියේගෙදර ඔස්සේ යටවර ඔය නිම්නය ආශ්‍රිතව මහනුවරට පිවිසෙන විකල්ප දුම්රිය මාර්ගයක් පිළිබඳ මූලික ශක්‍යතා අධ්‍යයනයක් කඩිනමින් ආරම්භ කළ යුතුය.

එය අධිවේගී මාර්ග සංවර්ධනයට දෙවැනි තැනක තැබිය යුතු යෝජනාවක් නොවේ. රටේ ප්‍රවාහන පද්ධතිය ආරක්ෂිත, කාර්යක්ෂම සහ ආපදා-ඔරොත්තු දෙන පද්ධතියක් බවට පත් කිරීමේදී දුම්රිය ප්‍රවාහනයට ද සමාන ප්‍රමුඛතාවක් හිමි විය යුතුය.

උඩරට මැණිකේගේ ගමන සොබා සිරියෙන් පිරි කඳුකරය හරහා අඛණ්ඩව ගලා යෑමට නම්, පැරණි මාර්ගය ආරක්ෂා කිරීම පමණක් නොව, අනාගතයට ගැළපෙන නව මාර්ගයක් පිළිබඳව ද අදම සිතා බැලිය යුතුය.

ෆාතිමා හලල්දීන්

නිතර නොඇසෙන කතා