
ඇමරිකා ඉරාන යුද්ධය තවමත් නිමාවන පාටක් දකින්නට නොලැබීම බොහෝ පාර්ශ්ව තුළ කණස්සලක් ඇති කර තිබෙන කාරණයක් බව රහසක් නොවේ. යුද්ධයත්, ඒ නිසා තෙල් මිල ඉහළ යාමත් නිසා අප වැනි රටවල් ද දැඩි ආර්ථික ගැටලුවලට මුහුණ දෙමින් සිටියි. එවැනි බොහෝ පාර්ශ්ව යුද්ධය අවසන් වනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින බව අමුතුවෙන් කිව යුතු නැත.
තත්වය මෙසේ තිබිය දී මෙම යුද ගැටුම මැද පෙරදිග කලාපයෙන් ඔබ්බට, විශේෂයෙන් යුරෝපා කලාපයටත් පැතිරේවි ද යන කුතුහලයක් ද මේ වනවිට ඇතිවී තිබෙනු දැක ගන්නට ලැබේ. ඉරානය මෙවැනි තත්වයක් පිලිබඳව යම් අනතුරු ඇඟවීම් කර තිබෙනු ද පසුගිය දිනවල දැකිය හැකි විය.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් රෙසායි මීට ටික දිනකට පෙර කරන ලද අනතුරු ඇඟවීමක් කාගේත් අවධානයට පාත්‍ර විය. ඇමරිකාව නැවත ඉරානයට දරුණු ප්‍රහාර එල්ල කළහොත්, එවැනි ප්‍රහාර සඳහා යොදා ගන්නා යුරෝපා රටවල ඇමරිකානු හමුදා කඳවුරුවලට පහර දෙන බව ඔහු පවසා තිබිණි. මේ ප්‍රකාශයට අනුව එක්සත් රාජධානිය, ග්‍රීසිය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවලට පවා මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී තිබේ. එම රටවල් හැමෙකකම ඇමරිකානු හමුදා කඳවුරු පිහිටා ඇති බැවිනි. එම රටවල ආරක්ෂක අංශ දැන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් සිටින බව ද වාර්තා වේ.
ඉරානය ඉහත කී ආකාරයේ අනතුරු ඇඟවීම් කළත් බොහෝ යුද විශේෂඥයන් මතු කරන ප්‍රශ්නයක් වනුයේ එවැනි ප්‍රහාර එල්ල කළ හැකි දිගු දුර මිසයිල ඉරානය සතුව තිබේ ද යන්න යි.

ඉරානය නිශ්පාදනය කළ බොහෝ මිසයිලවලට ගමන් කළ හැකි උපරිම දුර වූයේ කි.මී 2,000 ය. ඉරානය ඔවුන්ගේ මිසයිල සම්බන්ධයෙන් මෙවැනි සීමාවක් පනවාගෙන සිටි බව සඳහන් වේ. මෙම මිසයිලවලට ඉහත කී බටහිර යුරෝපයේ රටවල් වෙත ළඟා වීමට හැකියාවක් නැත.
නමුත් ඉරානය මේ වනවිට අර දුර සීමාව ඉවත් කර ඇති බවටත්, ඊට වඩා වැඩි දුරකට ගමන් කළ හැකි බැලිස්ටික මිසයිල නිශ්පාදනය කරමින් සිටින බවටත් තොරතුරු පළ වී තිබේ.
මතු වී ඇති තත්වය තුළ ඇමරිකාව බ්‍රිතාන්‍යයේ පිහිටි තම හමුදා කඳවුරු දෙකක තිබූ යුද ගුවන් යානා රැසක් ඉවත් කර ගැනීමට පවා පසුගිය දිනවල පියවර ගත්තේය. මේ ආකාරයෙන් ඉවත් කර ගැනුණේ ග්ලෝසෙස්ටර්ෂයර් ප්‍රදේශයේ පිහිටි ෆෙයාර්ෆෝර්ඩ් හමුදා කඳවුරේ සහ සෆෝක් ප්‍රදේශයේ පිහිටි මිල්ඩන්හෝල් කඳවුරේ තිබූ ගුවන් යානා ය.
කෙසේ නමුත් ඉරානයට යුරෝපයේ කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීමට සිදුවන තත්වයක් නිර්මාණය වනු ඇතැයි සිතීම අපහසු ය. මන්ද යත් ඇමරිකාව ඉදිරියේදී යුරෝපයේ කඳවුරු ද යොදා ගනිමින් ඉරානය වෙත විශාල පරිමාණයේ ප්‍රහාර එල්ල කිරීමට ඇති ඉඩ අවම බැවිනි. ඇමරිකාවේ පසුගිය දා පැවති වාර මැද මැතිවරණයෙන් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය දරුණු පරාජයකට පත් වූ අතර ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ යුද්ධය නිසා ඉන්ධන මිල වැඩි වීමෙන් ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම යි. ඇමරිකානුවන් තුළ යුද්ධය සම්බන්ධයෙන් ඇත්තේ ප්රසාදජනක හැඟීමක් නොවේ. එම තත්වය තුළ ට්‍රම්ප් පරිපාලනය නැවත යුද්ධය උත්සන්න කිරීමට කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකි ය.
2028 පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වීමට වැඩි ඉඩක් ඇති වත්මන් උප ජනාධිපති ජේඩී වෑන්ස් ද යුද්ධයට විරුද්ධ ස්ථාවරයක සිටින කෙනෙකි. ට්‍රම්ප් පරිපාලනය වැටී සිටින තත්වයෙන් ගොඩ ඒමට නම් වහා යුද්ධය නතර කර ජනතාවගේ ජීවන වියදම සහ රටේ උද්ධමනය අඩු කිරීමට පියවර ගත යුතුව ඇති බව ඔහු දැඩිව අවධාරණය කළේය.
කෙසේ නමුත් තවමත් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව යම් යම් ගැටුම් ඇතිවෙමින් තිබෙනු දැකිය හැකි වේ. ඉරාන ප්‍රහාරවලින් තෙල් නැව්වලට හානි සිදුවෙමින් ඇති අතර ඇමරිකාව ද එම ඉසව්වේ ඇති ඉරාන දූපතක මිසයිල මධ්‍යස්ථානයකට පහර දුන්නේය. මේ අතර ඉරානය බහරේනයේ සහ කුවේටයේ ඇමරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීමක් ගැනත් පසුගිය දිනවල වාර්තා විය. නමුත් මේවා එකට එක කිරීමේ සුළු පරිමාණ ප්‍රහාර ලෙස සැලකිය හැකි වේ.
මේ වනවිට මහා පරිමාණ යුද මෙහෙයුම් අවසන්ව ඇති බවක් ට්‍රම්ප් ද ප්‍රකාශ කර තිබිණි. ඇමරිකාව දැන් වැඩි අවධානයක් යොමු කරන්නේ සම්බාධක ආදිය හරහා ඉරානය මත ආර්ථික පීඩනය වැඩි කිරීමට බවක් ද ප්‍රකාශ වී තිබේ. වාර මැද මැතිවරණයෙන් පසු යුද්ධය පිලිබඳ ඇමරිකාවේ ස්ථාවරයන් වෙනස් වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ.
තත්වය මෙසේ තිබිය දී බොහෝ පාර්ශ්ව තුළ කුතුහලයක් ඇති කරන කාරණය වන්නේ තවමත් මේ දෙපාර්ශ්වය සෘජු සාම සාකච්ඡා ක්‍රියාදාමයකට එක් නොවන්නේ මන්ද යන්න යි. කාලය තමුන්ට වාසිදායක පසුබිමක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය නිසා දෙපාර්ශ්වයම සාමය කල් දමමින් සිටින බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් ගේ අදහස වී තිබේ. ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති ආර්ථික සම්බාධක, ඉරාන වරායන්ට එරෙහිව ක්‍රියාත්මක කරන නාවුක අවහිරය, ඩොලර් බිලියන ගණන් ඉරාන වත්කම් අත්හිටුවා තිබීම වැනි කාරණා හමුවේ ඉරානය පසුබානු ඇතැයි ඇමරිකාව අනුමාන කරනවා විය හැකි බව මෙම විශ්ලේෂකයන් ගේ අදහස යි.
අනෙක් අතට ඇමරිකානු ජනතාව තුළ යුද්ධයට ඇති විරෝධය වර්ධනය වීමත් සමග සහ මැතිවරණයෙන් ජයගත් ඩිමොක්රටික් පක්ෂය කොංග්‍රසය තුළ වැඩ පටන් ගැනීමත් සමග ට්‍රම්ප් පරිපාලනය පසුබානු ඇතැයි ඉරානයේ අදහස විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
කෙසේ හෝ වේවා දෙපාර්ශ්වයම බලා සිටින්නේ තමුන්ගේ කොන්දේසිවලට අනෙක් පාර්ශ්වය එකඟ වන තත්වයක් ඇති වන තුරු බව පෙනේ.
නිහාල් පීරිස්