ලංකා විදුලිබල මණ්ඩලයට පසුගිය වසරේ රුපියල් බිලියන 38.7ක අලාභයක්

 

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) 2025 වසරේදී රුපියල් මිලියන 38,739ක (රුපියල් බිලියන 38.7ක) අලාභයක් ලබා ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශ කළේය.විදුලි ගාස්තු වරින් වර ඉහළ දැමීම සහ පහළ දැමීම මෙම අලාභයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය විදුලිබල මණ්ඩලයේ පාඩුවට හේතු වී ඇති බවට චෝදනා කළේය. එහෙත් එම චෝදනාව අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.එමෙන්ම බලශක්ති අමාත්‍යාංශයේ නිල වගකීම වත්මන් අමාත්‍යවරයාට පැවරී තිබුණද, අමාත්‍යාංශයේ සියලු තීරණ ගනු ලබන්නේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා බවට දයාසිරි ජයසේකර මහතා චෝදනා කළේය. එම චෝදනාව ද ප්‍රතික්ෂේප කළ අනුර කරුණාතිලක මහතා අමාත්‍යාංශයේ තීරණ ගනු ලබන්නේ තමන් විසින්ම බව ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මූල්‍ය දත්ත අනුව ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසරේදී රුපියල් බිලියන 61.2ක ලාභයක් ද, 2024 වසරේදී රුපියල් බිලියන 144.4ක ලාභයක් ද වාර්තා කර තිබේ. එහෙත් 2025 වසරේදී එම තත්ත්වය වෙනස් වී රුපියල් බිලියන 38.7ක අලාභයක් වාර්තා කර ඇත.විදුලිබල මණ්ඩලයේ 2025 වසරේ මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති තවත් වාර්තාවක එම වසරේ බදු පෙර අලාභය රුපියල් මිලියන 38,739.948ක් ලෙස දක්වා තිබේ. එම වාර්තාවට අනුව අලෙවි කළ විදුලි ඒකකයක් සඳහා බදු පෙර අලාභය රුපියල් 2.41කි.මේ අතර, 2025 වසරේදී විදුලිබල මණ්ඩලය විසින් නිෂ්පාදනය කර ඇති ශුද්ධ විදුලි ප්‍රමාණය ගිගාවොට් පැය 12,968ක් වන අතර, එය 2024 වසරේදී ගිගාවොට් පැය 12,861ක් විය.ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම මූල්‍ය ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වන්නේ මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමකය. ඒ අනුව 2026 මාර්තු 9 වැනිදා සිට විදුලිබල මණ්ඩලයේ කාර්යයන් නව රාජ්‍ය සමාගම් හයක් යටතේ ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

Digital Trust Alliance

Daily Mirror

කාලීන පුවත්