ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ සේවා හා වැටුප් විෂමතා නොසලකා හරිමින් තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයකට පමණක් දීමනා වැඩි කිරීමට විරෝධය පළ කරමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් වෘත්තීය සමිති 20ක සාමාජිකයෝ හෙට (20) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.මෙම වර්ජනය සඳහා ඉංජිනේරු, ගණකාධිකාරී, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු විවිධ රාජ්‍ය සේවා ක්ෂේත්රවල විධායක නිලධාරීන් සහභාගි වන බව වාර්තා වේ. වර්ජනයට එක්වන නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත්ව සිටීමට නියමිතය.වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ විධායක සේවාවන් 20කට ආසන්න සංඛ්‍යාවක නිලධාරීන් මුහුණ දෙන වැටුප් හා දීමනා විෂමතා විසඳීමට අයවැයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවයි. විශේෂයෙන් ප්‍රවාහන වියදම්, රාජකාරි දීමනා සහ ජීවන වියදම ඉහළ යෑම හමුවේ සියලු රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම්වලට මෙවර අයවැයෙන් විසඳුම් ලැබී නොමැති බව ඔවුහු පවසති.2027 අයවැය මගින් රාජ්‍ය සේවයේ තෝරාගත් විධායක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව රුපියල් 50,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර තිබේ. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ වෛද්‍ය නිලධාරීන්ගේ DAT දීමනාව රුපියල් 25,000කින් ඉහළ නැංවීම ඇතුළු විශේෂිත ක්ෂේත්‍ර කිහිපයක දීමනා සංශෝධනය කිරීමට ද යෝජනා කර ඇත. එහෙත් එම සහන අනෙකුත් විධායක සේවාවන්ට ද සාධාරණ ලෙස ලබාදිය යුතු බව වෘත්තීය සමිතිවල ස්ථාවරය වී තිබේ.රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ හෙට පැවැත්වෙන වර්ජනයෙන් පසුව හෝ සිය ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබාදීමට රජය කටයුතු නොකළහොත් සෙසු රාජ්‍ය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර සමස්ත රාජ්‍ය සේවයම වැඩ වර්ජනයකට කැඳවීමට පියවර ගන්නා බවයි.මේ අතර, රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අයවැය ක්‍රියාවලිය අවසන් වූ පසු අවධානය යොමු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. සියලු ඉල්ලීම් එකවර ඉටු කළ නොහැකි වුවද හැකි පරිදි සහන ලබාදීමට රජය සූදානම් බව ද ඔහු සඳහන් කර තිබිණි.හෙට පැවැත්වීමට නියමිත මෙම වර්ජනයත් සමඟ රාජ්‍ය සේවයේ විවිධ ක්ෂේත්රවල සේවා කටයුතුවලට බලපෑම් එල්ල වීමේ අවදානමක් ද පවතී.