හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.ඒ අනුව රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් ලබාගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සුගීෂ්වර බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.මීට පෙර අවස්ථා කිහිපයකදී ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබූ අතර, අවසන් වරට නොවැම්බර් 11 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු අද (18) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.අද දින ඇප මත මුදාහැරීමත් සමඟ අදාළ විමර්ශනය සහ නඩු කටයුතු ඉදිරියටත් අධිකරණය හමුවේ ක්‍රියාත්මක වනු ඇත.