කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීම: සැකකරුවන් දෙදෙනාගෙන් මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සම්

 

කාවන්තිස්ස හස්තියාට වෙඩි තබා ඝාතනය කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් දෙදෙනා තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා කුරුණෑගල මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව ප්‍රතිශෝධන අයදුම්පත් දෙකක් ගොනු කර තිබේ.ඒ අනුව, තමන් ඇප මත මුදාහැරීම ප්‍රතික්ෂේප කරමින් මහව මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය නීතියට පටහැනි බව පවසන සැකකරුවෝ එම නියෝගය බල රහිත කර තමන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස මහාධිකරණයෙන් ඉල්ලා සිටිති.මෙම සැකකරුවන් අතර නිපුණතා සංවර්ධන නිලධාරියකු ද සිටින බව වාර්තා වේ.ප්‍රතිශෝධන අයදුම්පත් සලකා බැලූ වයඹ පළාත්බද මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා, ඒවායේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගල්ගමුව වනජීවි පාලක ඒකකයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක සමන් ලියනගම මහතාට සහ නීතිපතිවරයාට ලබන දෙසැම්බර් 14 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.සැකකරුවන් වෙනුවෙන් නීතිඥ උදය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව විජේපාල මහතා අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කර ඇත. එහිදී හස්තියාට වෙඩි තැබූ සැබෑ පුද්ගලයන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ කරුණු අනුව ද දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් එම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව තහවුරු නොවන බවත් විත්තියේ පාර්ශ්වය කරුණු දක්වා ඇත. උස්ගල–සියඹලන්ගමුව ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටියදී හමුවූ කාවන්තිස්ස හස්තියා පසුව මිය යෑමත් සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ විය. හස්තියාගේ උදර ප්‍රදේශයෙන් වෙඩි උණ්ඩ කොටස් තුනක් හමුවූ බව නොවැම්බර් 12 වැනිදා මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය. අනතුරුව මෙම වෙඩි තැබීම පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර කිරීමට ද අධිකරණය නියෝග කළේය.පසුගිය නොවැම්බර් 25 වැනිදා මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මහත්මිය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී ද සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. ඒ අනුව ඔවුන් දෙසැම්බර් 9 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර, හස්තියාගේ වෙළෙඳපොළ වටිනාකම පිළිබඳ රජයේ තක්සේරු වාර්තාවක් සහ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවි නිලධාරීන්ට නියම කෙරිණි.මේ අතර, හස්තියා මිය යෑම සම්බන්ධ නඩුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේත්, වෙඩි තැබීම සම්බන්ධ නඩුව මහව මහේස්ත්‍රාත් අධිකරණයේත් විභාග වීම පිළිබඳව ද නීතිමය ගැටලුවක් මතු වී තිබේ. එම නඩු දෙකම එකම මහේස්ත්‍රාත් අධිකරණයක් යටතේ පවත්වාගෙන යා හැකිද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් පවතින මෙම නීතිමය හා විමර්ශන කටයුතු කෙරෙහි ඇහැටුවැව, හුනුගල්ලෑව ඇතුළු ප්‍රදේශවල ජනතාව ද දැඩි අවධානයකින් පසුවන බව වාර්තා වේ. සැකකරුවන් දෙදෙනාගේ වත්මන් තත්ත්වය පිළිබඳව ද ප්‍රදේශවාසීන් අතර දැඩි සංවේදීතාවක් පවතින බව දැනගන්නට තිබේ.සැකකරුවන්ට එරෙහි චෝදනා මෙතෙක් අධිකරණය හමුවේ අවසන් වශයෙන් තහවුරු වී නොමැති බැවින්, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ තීරණ සහ විමර්ශනවල ප්‍රගතිය කෙරෙහි මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

කාලීන පුවත්