ඥානසාර හිමියන්ට යළි සිවුරු පෙරවීමට දිනයක් ඉල්ලා භික්ෂූහු බන්ධනාගාර මූලස්ථානයට යති

 

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි විනයානුකූලව සිවුරු පෙරවීම සඳහා දිනයක් හා වේලාවක් ලබා නොදීම සම්බන්ධයෙන් විමසීමට භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (16) බන්ධනාගාර මූලස්ථානය වෙත වැඩම කර තිබේ.සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් මීට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඥානසාර හිමියන්ට යළි සිවුරු පෙරවීම සඳහා තමන් වහන්සේ ඇතුළු සංඝසභා නියෝජිත පිරිසකට බන්ධනාගාරයට පැමිණීමට දිනයක් හා වේලාවක් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබිණි.එහෙත් එම ඉල්ලීමට මෙතෙක් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙසේ බන්ධනාගාර මූලස්ථානය වෙත වැඩම කර ඒ පිළිබඳව විමසා ඇත.එහිදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නොසිටි බැවින් නියෝජ්‍ය කොමසාරිස්වරයා හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.අදාළ ලිපිය බුද්ධ ශාසන අමාත්‍යාංශයට සහ අධිකරණ අමාත්‍යාංශයට යොමු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සතියක් ඇතුළත දැනුම් දෙන බවත් බන්ධනාගාර බලධාරීන් එහිදී භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කර ඇත.ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාරය තුළදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයක් ඇති විය. පසුව බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලාට සිවුර දරා සිටීමට හැකි වන පරිදි බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කිරීමට ද පියවර ගෙන තිබිණි.කෙසේ වෙතත්, ඥානසාර හිමියන්ට යළි සිවුරු පෙරවීමේ කටයුත්ත බෞද්ධ භික්ෂු විනයට හා අදාළ නිකායේ සම්ප්‍රදායට අනුකූලව එම නිකායේ සංඝසභාවේ මැදිහත්වීමෙන් සිදුකළ යුතු බව මහා සංඝරත්නයේ අදහස වී තිබේ.

කාලීන පුවත්