ලෝක සත්ව දිනය අදයි

ලෝක සත්ව දිනය

ලෝක සත්ව දිනය අදට යෙදී ඇත. ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය පැවසුවේ ලෝක සත්ව දිනයට සමගාමීව රිදීගම සෆාරි උද්‍යානය තුළ සිය සංගමයේ ශාඛාවක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි.

ගෘහස්ථ සහ වන සතුන්ට සිදුවන සාහසික අපරාධ හමුවේ මෙම ලෝක සත්ව දින සැමරුම ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ක්‍රියාවට නොනැගීම අතිශය ඛේදවාචකයකි.

ලොව දියුණු රටවල ජනතා ව්‍යාපාරයක් වශයෙන් ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වන ලෝක සත්ව දින සැමරුම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජන සමාජයට තවමත් ‘වගේ වගක් නොමැති වීම’ සංවේගය මුසු පුදුමයකි.

මිහිතලය මිනිසුන් ගේත් සතුන් ගේත් පොදු උරුමයක් මිස මිනිසුන් ගේ තනි උරුමයක් නොවේය යන ස්වාභාවික යුක්ති ධර්මය මත පදනම් වූ සත්ව අවිහිංසාව සත්ව හිමිකම් හා සුබසාධනය පිළිබඳ මූලික සංකල්පය ලොවට ඉදිරිපත් වන ලද්දේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ ලොවට බිහිවූ බුදු දහමින් සහ ජෛන දහමිනි.

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී මිහිදු හිමියන් විසින් බුදු දහම ඔස්සේ එය ශ්‍රී ලංකාවට හදුන්වා දෙන ලදී. නමුදු ජාත්‍යන්තර වශයෙන් මෙම සංකල්පය ප්‍රචලිත වන ලද්දේ දොලහ සහ දහතුන් වන සියවස් වල ඉතාලියේ ජීවත් වූ කිතුණු පූජක තුමෙකු ගේ ඉදිරිපත් වීමෙනි.

ක්‍රි.ව 1182-1226 කාලයේ ඉතාලියේ අසිසි නුවර ජීවත් වූ එතුමන් මරණයෙන් පසුව ශාන්ත ෆ්‍රැන්සිස් යන නමින් සාන්තු වරයට පත්ව තිබේ. පසුව ක්‍රි.ව 1887-1942 අතර ජර්මනියේ විසූ ගත් කතුවර හෙන්රික් සිමර්මන් විසින් ආගමි, ජාති, සංස්කෘතික, දේශපාලන භේදයකින් තොර සැමරීමක් ලෙස යාවත්කාලීන කරන ලද මෙම ලෝක සත්ව දිනය අද වන විට ලෝකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන සැමරුම් අතරින් මුල් තැනකට පත්ව තිබේ.

එවන් පසුබිමක් යටතේ මරණයට කැප වූ මුවකුට අභයදානය දෙමින් මිහිඳු මා හිමියන් විසින් මෙරටට හදුන්වා දුන් බුදු දහම ස්ථාපිත වී ඇතැයි පැවසෙන අප රටේ ලෝක සත්ව දින සංකල්පය අද වන විටත් තිඹිරිගෙයින් පිටතට ගැනීමට නොහැකි වීම ජාතික ඛේදවාචකයකි. මේ පිළිබදව අහිංසා ශ්‍රී ලංකා සත්ත්ව හිමිකම් සහ සුභසාදන ප්‍රජා ක්‍රියාකාරී එකමුතුව අවධාරණය කරනුයේ ලබන වසරේවත් ඒ සදහා ප්‍රබල සමාජමය පෙළ ගැස්මකට ඇරයුම් කරමිනි.

එය මෙරට ගෘහස්ථ සහ වන සතුනට සිදුවන සාහසික අපරාධ වැලැක් වීමටත් ඔවුන් ගේ හිමිකම් සහ සුබසාධන කටයුතු ප්‍රවර්ධනයටත් ඒකාන්තයෙන්ම හේතු වනු ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය මුල් කොට වන්නි හත්පත්තුවේ ජන විශ්වාස සහ ඇදහිලි පදනම් වූ පූර්වගාමී ආධ්‍යාත්මික සැමරුම අද(4)පෙරවරුවේ එම ස්මාරක පරිශයේ දී සිදු කෙරිණ.

ගල්ගමුවෙ ප්‍රාදේශීය සභා සභාපති එච්.කේ විමලරත්න ස්මාරකයේ නිර්මාණ ශිල්පී ජේ රත්නායක යන මහතුන් ඇතුළු එම නිර්මාණ කාරියට සම්බන්ධ පාර්ශව කිහිපයක නියෝජිත වරු මේ සඳහා එක් වූහ.වන්නි හත්පත්තුවේ පාරම්පරික ජන විශ්වාස සඳහා අගැයුමක් ලබා දීම ඔස්සේ ප්‍රාදේශීය ජන සංකෘතිකාංග අගැයුමට ලක් කිරීමේ සමාජමය යුතුකම ඉටු කිරීම ද මෙම සැමරුමේ ප්‍රධානතම අරමුණක් බව ස්මාරක නිර්මාණ ශිල්පී ජේ රත්නායක මහතා කීය.

තිලක් සේනාසිංහ

කාලීන පුවත්