සමාජය කළඹවන සුළු පුවත් හා “සුළු” පුවත් වලින් සමාජය කැළඹීම

sulupuwath

පාසල් ඇඳුමින් සැරසුණු යුවතියක් දුම් වැටියක් උරන දර්ශනයක වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයන් ඔස්සේ වේගවත් ව සංසරණය වෙමින් තිබේ. විනෝදමත් සවරූපයෙන් එසේ කරන ඇගේ අනෙක් අතේ ගිනි පෙට්ටියක් ද තිබේ.එය මේ වන විට රට තුළ කෙතරම් කැළඹීමක් ඇති කිරීමට සමත්ව තිබේද? යත් එම සිසුවිය කවුරුන් ද? යන්න හඳුනා ගැනීම පිණිස පොලිස් බුද්ධි අංශ මඟි8න් විශේෂ පරීක්ෂණ ද දියත් කොට ඇති බවක් පැවසෙයි.

අපගේ ජන සමාජය කළඹවන සුළු පුවත් ජන මාධ්‍ය මගින් නොයෙක් වර ජනතාව අතරේ සම්ප්‍රේෂණය කෙරේ. අතීතයේ පැවැති මුද්‍රිත මාධ්‍යයට අමතරව පසු කාලීනව ජනතාව අතරට පැමිණි රූපවාහිනී මාධ්‍යයන් සේම ඉනි`ක්බිතිව සමාජය පුරා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වූ සමාජ මාධ්‍යයන් නිසා රට කළඹවන සුළු පුවත් සේම සුළු පුවත් මගින් රට කැළඹීම ද වේගයෙන් ඉහල යමින් තිබේ. මෙය ද ඒ සඳහා වන එක් නිදසුනකි.

නව යොවුන් පාසල් සිසු සිසුවියන් ගේ අනේක විධ අසංවර, අවිනීත සහ හිතුවක්කාර ක්‍රියා එදා මෙදා තුර කොතෙකුත් පැවැති බව මෙය කියවන ඔබ කවර වයස් පරාසයකට අයත් වුවද ඉතා හොඳින් දැන සිටිනවාට සැක නැත. ඒ සිදුවීම් අතර අප බොහෝ දෙනෙක් සිතනවාට වඩා අතිශය බරපතල සිදුවීම් ද වූ බවට සාක්ෂි දැරිය හැකි බොහෝ දෙනෙක් අප සමාජයේ සිටිති. නව යොවුන් පාසල් සිසුවියන් ඔවු`නොවුන් පරයමින් සිදු කරන අසංවර අවිනීත සහ හිතුවක්කාර ක්‍රියා බොහොමයක පදනම යෞවන බව සමඟ උරුම වන ජෛවමය ආවේගයන් බව විද්‍යාත්මක ව තහවුරු වූ සත්‍යයකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් ඒ අවිනීත අසංවර හිතුවක්කාරී ක්‍රියා සමහරක් තුළ අඩු වැඩි වශයෙන් ලිංගිකත්වය ද ගැබ්ව තිබිණ. එහෙත් ඒවා එවක සමාජ කරලියෙන් සැඟව ගත් සිදුවීම් ලෙස මිස අද මෙන් රට කළඹන ප්‍රවෘත්තීන් ලෙස ඒවා සමාජ කරලියට පැමිණියේ නැත.

නමුදු අද විවිධාකාර අන්දමින් භාවිතා වන ප්‍රවෘත්ති කලාව සරුසාර ආදායම් මාර්ගයක්,ව්‍යාපාරයක් සේම ජාවාරමක් ලෙස හිස ඔසවමින් පවතින නිසා සමාජය කළඹවන සුළු පුවත් මැවීමට සේම සුළු පුවත් වලින් සමාජය කැළඹීමට ද ඒවායේ නියුක්ත වූවෝ කටයුතු කරති.
ඉහත සඳහන් පාසල් සිසුවිය කුමන හෝ හේතුවක් මත දුම්වැටියක් උරන දර්ශනයක් එම වීඩියෝවේ දැක්වෙයි. එය ඉතා කෙටි කාලීන සිදුවීමකි. නමුත් ඒ අවට සිටියෝ කවරහුද?ඒ සඳහා ඇය පොළඹවන ලද්දේ කවුරුන් විසින් ද?ආදී ඒ සම්බන්ධ පසුබිම් විස්තරයක් කිසිවකුත් නොදනිති. ඒ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ විට සිතීමට ඇත්තේ සම වයසේ සිසු සිසුවියන් තම හිතුවක්කාරකමට කළ එවැනි අත්හදා බැලීමක කොටසක් ඒ පිරිසේම කිසිවකු වීඩියෝ ගත කොට ඔහු හෝ වෙනයම් කිසිවකු විසින් හෝ එය සමාජ ජාලයට මුදා හැර ඇති බවකි.

ඒ අනුව එම වීඩියෝවේ දැක්වෙන දර්ශනය පදනම් කර ගෙන එය රට කළඹන පුවතක් නිර්මාණය වී තිබේ. සාමාන්‍යයෙන් ජනතාව ගේ ස්වභාවික කුතුහලය පුබුදුවන මෙබඳු දර්ශන කෙරෙහි ඇති ඉල්ලුම පමණක් වටහා ගන්නා ඇතැම් රූපවාහිනී චැනලයන් ද මේවායේ ඇති ප්‍රවෘත්තිමය වටිනාකම හෝ එමගින් ජන සමාජයට සිදුවන බලපෑම ගැන නොතකා මේවා අවිචාරවත් ලෙස තම ප්‍රවෘත්ති විකාශනයට එක් කරයි. එවිට අප රට සම්බන්ධ සැබෑ වැදගත් ප්‍රවෘත්ති; තොරතුරු විශාල සංඛ්‍යාවක් යටපත් කරමින් වේගයෙන් ජන අවධානයට ලක් වන මෙබඳු නිසරු පුවත් සෙසු වැදගත් කාලීන පුවත් හා තොරතුරු රැසක අගය අකා මකා දමයි. ඊට හේතුව ඉන්පසු රට තොටේ කතා බහ වලින් වැඩි ප්‍රමාණයක් මෙවන් පුවත් වටා නිර්මාණය වීමය.

අවිචාරවත් සමාජයක විචාරවත් ප්‍රවෘත්ති කලාවක් දැකිය නොහැකි බව ඒකාන්ත සත්‍යයකි. එමෙන්ම මෙම සිසුවිය ගේ ක්‍රියාව වැනි නොසුදුසු ක්‍රියාවන් වලට වැඩි ප්‍රවෘත්තිමය අගයක් හමු වීමෙන් මෙවන් අනිසි ක්‍රියාවන් කෙරෙහි ළාබාල සහ නව යොවුන් පිරිස් වැඩි වැඩියෙන් නැඹුරු වීමේ පහසු අවකාශයක් ඇති වේ. එහෙත් ඒ සඳහා වගකිව යුත්තෝ කවරහුද?ඔවුන් ගේ එම ක්‍රියාවන් වැළැක්වීමට ගත යුතු පියවර මොනවාද? යන්න නූතන සමාජයේ සංතීක්ෂණ අවධානයට යොමු විය යුතුම ය.

හේමන්ත රන්බණ්ඩාර

එතෙර - මෙතෙර