ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් පෙළෙන “සොරුන්ට පෙම් කිරීමේ” ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය

කොච්චර විපතට පත් වෙලා හිටියත් අපේ රටේ වැඩි පිරිසකට තවමත් වත්මන් පාලනයේ හොඳ දකින්න පුලුවන් මට්ටමේ මානසිකත්වයකට පත් වෙන්න පුලුවන් වෙලා තියනවා. තමන්ගේ පාලකයා තමන්ව කොයි තරම් අපහසුතාවට පත් කරගෙන හිටියත්, තමන් කොයි තරම් විපතකට පත් වෙලා හිටියත්, පාලකයාගේ හොඳ දකින්න පුලුවන් වීම නිවට නියාලුකමක් විදියට තවදුරටත් දකින්න බැහැ. ඒක යම් මට්ටමක භයානක මනෝභාවයක් බව අතීත සිදුවීම්වලින් අපිට විනිශ්චය කරන්න පුලුවන්.

දැන් අපි බලමු මේ හා සමාන අතීත සිදුවීමක් දිහා. 1973 අවුරුද්දේ අගෝස්තු 23 වෙනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ ක්‍රෙඩිට්බෑන්කන් කියන බැංකුවේ මංකොල්ලයක් සිද්ධ වුණා. කොල්ල කල්ලියෙ නායකයා තමයි ජෑන් එරික් ඕල්සන්. කොල්ලය අසාර්ථක වුණු තැන මෙයා බැංකු සේවිකාවන් තුන් දෙනෙක් සහ සේවකයෙක් ප්‍රාණ ඇපයට අරගෙන බැංකු ගොඩනැගිල්ල ඇතුළේ හිර කරලා තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කළා. පළමු ඉල්ලීම වෙන්නේ ඒ වෙද්දිත් බන්ධනාගාරගතව සිටින නමගිය අපරාධකරුවෙකු වුණු තම හොඳම මිතුරු ක්ලාක් ඔලොෆ්සන්ව නිදහස් කර ගැනීමයි. ඊට අමතරව විශාල මුදලක් සහ ඔවුන්ට පැන ගන්න වාහනයකුත් ඉල්ලා සිටිනවා. මේ විදියට කොල්ලකරුවන් තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් දවස් හයක් පුරා ප්‍රාණ ඇපකරුවන් තමන් භාරයේ තබා ගන්නවා. ඒ දවස් හය පුරාම පොලීසිය කඹයක ගැට ගසන ලද බාස්කට් එකක බහා කොල්ලකරුවන්ටත් ප්‍රාණ ඇපකරුවන්ටත් ආහාර පාන සපයා දෙනවා.

ප්‍රාණ ඇපයට ලක් වුණු හතර දෙනාට කොල්ලකරුවන්ගේ අණසකට යටත් වෙලා ඉන්න සිදු වුණත් ඔවුන්ට දරුණු වධ වේදනා විඳින්න ඉඩ තියන්නේ නැහැ. ඒ නිසාම දවසක් දෙකක් ගත වෙද්දි ප්‍රාණ ඇපකරුවන්ට කොල්ලකරුවන් ගැන යම් ආකාරයක පැහැදීමක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ පැහැදීම කොච්චර දුර ගියා ද කියනවා නම්, එක් බැංකු සේවිකාවක් කොල්ලකරුවෙකුට ආදරය කරන්න පවා පෙළඹෙනවා. දවස් හයක මෙහෙයුමකින් පස්සේ ස්ටොක්හෝම් පොලීසිය ප්‍රාණ ඇපකරුවන් බේරාගෙන මංකොල්ලකරුවන් යටත් කරගෙන අත්අඩංගුවට ගන්න සමත් වෙනවා. නමුත් ඒ මොහොතේ කිසිම කෙනෙක් නොසිතූ සිදුවීම් රැසක් සිදු වෙමින් පවතිනවා.

ඒ තමයි ප්‍රාණ ඇපකරුවන් විසින් තමන්ව බේරා ගත් පොලීසිය වෙත අනියත බියක් ඇති කර ගැනීම සහ මංකොල්ලකරුවන් වෙත දැඩි විශ්වාසයක් ඇති කර ගන්නට සමත් වී තිබෙන බව පෙනෙන්නට තිබීම. ප්‍රාණ ඇපයට ගත් බැංකු සේවකයින් හතර දෙනා මංකොල්ලකරුවන්ව අත්අඩංගුවට ගන්න එපා කියමින් සහ ඔවුන්ට දඬුවම් දෙන්න එපා කියමින් හඩා වැටෙන්න පටන් ගන්නවා. පොලීසිය කෙරෙහි ප්‍රාණ ඇපකරුවන්ට ඇති වෙන්නේ තරහක් සහ වෛරයක්. ඒ විතරක් නෙවෙයි පොලීසිය වෙනුවෙන් මංකොල්ලකරුවන්ට විරුද්ධව උසාවියේ දී සාක්ෂි දීම පවා එකී බැංකු සේවකයින් ප්‍රතික්ෂේප කරනවා.

දැන් තවත් කතාවක් කියන්නම්. ඔන්න එක රටක් තියනවා. ඒ රටේ පාලකයන් පොදු මහජනතාවගේ මුදල් අයථා විදියට නොසෑහෙන්න මංකොල්ල කමින් වංචා කරනවා. භාණ්ඩ මිල වැඩි කරමින් මහජනයා තලාපෙලා දමනවා. අසරණ මිනිසුන් බොහොම අමාරුවෙන් ජීවත් වෙද්දි පාලකයන් ඉතාම සුඛෝපභෝගී විදියට ජීවත් වෙනවා. ඔවුන් එහෙම ජීවත් වෙන්නේ තමන්ගේ බදු මුදලින් සහ අයථා ක්‍රමවලින් කඩා ගත්තු මුදල්වලින් කියලා මහ ජනතාව දන්නවා. නමුත් ඔවුන් පාලකයන්ට විරුද්ධව මොකුත්ම කියන්නේ නැහැ. මොකද ඔවුන් තමන්ගේ හිතින්ම ප්‍රාණ ඇපකරුවන් බවට පත් වෙලා ඉවරයි. ඒ නිසා ඔවුන් තවදුරටත් පාලකයන්ගේ ගුණ වයමින්, වන්දනා කරමින් අසරණ විදියට ජීවත් වෙනවා.

මේ විදියට තමන් ප්‍රාණ ඇපයට තබාගත් කොල්ලකරුවන්, කප්පම්කරුවන් හෝ වංචාකරුවන් කෙරෙහි ධනාත්මක හැඟීමක් සහ තමන් බේරා ගත් පොලීසිය කෙරෙහි නිෂේධනාත්මක හැඟීමක් ඇති කරවන මනෝභාවය පසු කාලයේ ”ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම්” කියලා නම් කරනවා. ස්ටොක්හෝම්වල බැංකු මංකොල්ලය සිදුවෙන්න කලින් ඉඳලාම මේ වගේ මනෝභාවයන් සහිත පුද්ගලයන් හමු වෙලා තිබුණත් මේ මනෝභාවය ප‍්‍රසිද්ධියට පත් වෙන්නේ ස්ටොක්හෝම් සිදුවීමෙන් පස්සේ නිසා තමයි ඒක ”ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම්” කියලා නම් කරන්නේ.

සාමාන්‍යයෙන් මේ වගේ තත්වයක් ඇති වෙන්න පුලූවන් වෙන්නේ ප්‍රාණ ඇපයට ලක් වූ හෝ පැහැර ගැනීමකට ලක් වූ හෝ කොල්ලකෑමකට ලක් වූ අයට විතරයි කියලා අපිට හිතුණට ඇත්තටම ඒක එහෙම නෙවෙයි. තමන් කොල්ලකෑමකට ලක් වුණා කියලා පවා නොදන්නා විශාල පිරිසකට වුණත් මේ මනෝභාවය එකවර ඇති වෙන්න පුලූවන්. ඒකට හොඳම උදාහරණයක් ඇතුළෙ තමයි මේක ලියන මමත්, මේක කියවන ඔබත් මේ මොහොතේ පවා රැඳිලා ඉන්නේ. අපි හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව මංකොල්ලකාරයින් පිරිසක් මේ වෙද්දි අපි හැමෝටම අයිති දේවල් මංකොල්ලකමින්, විනෝද වෙමින්, අපිව අපහසුතාවට පත් කරමින්, සැප පහසු ජීවිතයක් ගතකර කරමින් ඉන්නවා. හැබැයි ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ මංකොල්ලකාරයො ගැන අපි මැසිවිලි නගන්නේ නැහැ. අපි අතර ඉන්න සමහරු ඒ මංකොල්ලකාරයින්ට වන්දනාමාන පවා කරමින් ඉන්නවා. ඔවුන්ට පිස්සුවෙන් වගේ ආදරය කරමින්, වැඳ වැටෙමින් ගරු බුහුමන් පවත්වමින් සිටින අය ඕනෙ තරම් ඉන්නවා. ඔවුන් අපේ දේවල් කෝටි ප්‍රකෝටි ගණනින් වංචා කරලා තියනවා කියලා අපි දන්නවා. ඒත් ඒක අපිට කමක් නෑ. ඒ කියන්නේ අපිට ඔවුන් ගැන තියෙන්නේ ධනාත්මක හැඟීමක්.

ඔය අතරේ අපිව මේ වංචාකාරයින්ගෙන් බේරා ගන්න තව කට්ටියක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔවුන් තමන්ගේ ජීවිත පරදුවට තබමින් අපිව බේරා ගන්න ලොකු උත්සාහයක නිරත වෙමින් ඉන්නවා. ඒ අය අපි වෙනුවෙන් කොච්චර මොන දේ කළත් අපිට ඒ අයව පේනෙන්නේ අපිව ගිලගන්න ආපු යක්ෂයෝ පිරිසක් වගෙයි. හරියටම කියනවා නම් අර ස්ටොක්හෝම්වල බැංකුව මංකොල්ලකන්න ආපු අයගෙන් ප‍්‍රාණ ඇපකරුවන්ව බේරා ගන්න ආපු පොලිස් නිලධාරීන් ගැන ප්‍රාණ ඇපකරුවන්ගේ හිතේ ඇති වුණු නිෂේධාත්මක හැඟීමම වගේ හැඟීමක් තමයි අපිව බේරා ගන්න ඇවිදින් ඉන්න අය ගැන අපිට ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ අයව ගණන් ගන්න පවා උත්සාහා කරන්නේ නැහැ.

රටේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් අපි අතරින් වැඩි පිරිසකට, ඒ කියන්නේ ලක්ෂ 60 කට එහා පිරිසකට අදටත් කිසිම ගාණක් නෑ. ඒ අය ”ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම්” කියන භයානක මනෝභාවයෙන් පෙළෙනවා කියලා පවා ඒ අය දන්නේ නැහැ. ඒ කොහොම වුණත් ලක්ෂ ගානක් වුණු රටවැසියන්ට වැළඳිලා තියන ”ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම්” එකෙන් ඔවුන් මුදවාගෙන ඔවුන්වත් ගොඩ දාලා අපිත් ගොඩ ගිහින් රටත් ගොඩ ගන්න උත්සාහ කරන එක තමයි ”ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම්”එකෙන් පෙළෙන්නේ නැති අයගේ වගකීම වෙන්නේ.නමුත් මේක සායනික මනෝ රෝගයක් නොවෙන නිසා මේකට බෙහෙත් නැහැ.සමාජ ආකල්ප පෙරළියකින් විතරයි මේකටවිසඳුම් හොයන්න පුළුවන්.

දුලංජලී මුතුවාඩිගේ

එතෙර - මෙතෙර