ගෝඨා යළි පැමිණියහොත් කුමක්වේද?

gota

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිටින්නේ තායිලන්තයේ ය. ඒ ඉකුත් ජුලි මස 09 දා ඇතිවු ජනතා විරෝධය මධ්‍යයේ රටින් පළායාමත් සමඟ ය. මුලින් සිංගප්පුරුව වෙත ගිය ඔහු එහි මාසයක් පමණ ගත කොට මේ වන විට තායිලන්තය වෙත පැමිණ තිබේ. ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ සිංගප්පුරුවේ සිට තායිලන්තයට පැමිණිමේ ගුවන් ගමන් වියදම දැරූවේ ශ්‍රී ලංකා රජයෙන් බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කළේය. අනෙකුත් වියදම් රජයෙන් දරන්නේ ද යන්න තමා නොදන්නා බව ද ඔහු කීවේය.

වහාම ක්‍රියාත්මක වූ ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර කීවේ හිටපු ජනාධිපතිවරයා විදේශගතව සිටින කාලය තුළ ඔහුගේ සියළු වියදම් දරනුයේ ඔවුන්ගේ පෞද්ගලික මුදලින් බව ය. හිටපු ජනාධිපති වරයාට ලංකාවට පැමිණ ජීවත් වීමට තිබෙන අයිතිය තහවුරු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂට ලංකාවට පැමිණීමට කිසිදු බාධාවක් නැතැයි අරගලකරුවෝ ද මේ වන විට ප්‍රකාශ කරති.”අපි එයාට ලක්ෂ වාරයක් කිව්වේ ගෝඨා ගෝ හෝම් කියලනේ.ඉතින් එහෙව් එකේ මොකටද?රටින් පැනලා ගියේ”ඔව්හු වැඩි දුරටත් කියති. එසේ නම් ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට පැමිණෙයිද?, පැමිණියහොත් සිදුවන්නේ කුමක්ද? යන කාරණය ගැන කිසිවෙක් ප්‍රකාශ කරන්නේ නැත. කෙසේ නමුත් මිරිහාන ප්‍රදේශයේ පිහිටි ගෝඨාභය රාපක්ෂගේ පෞද්ගලික නිවසට මේ වන විටත් රජය මගින් ආරක්ෂාව සපයා තිබේ.

ඔහු හා බිරිඳ නැවත ලංකාවට පැමිණෙන්නේ හිටපු ජනාධිපති හා බිරිඳ ලෙස පමණි. වසර දෙකක් ඉතිරිව තිබිය දී ඔහුට ජනාධිපති ධූරය හැර යන්නට සිදුව තිබේ. දැන් ඔහු සතුව ජනාධිපති මුක්තිය නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාට එරෙහිව පවරා තිබූ නඩු සියල්ල ජනාධිපති මුක්තිය මත ඉවත්කර ගත්තේය. එම නඩු සියල්ලක්ම පවරා තිබුණේ ඔහු ජනාධිපති වීමට ප්‍රථම ය.

ඉවත් කර ගත් නඩු යළි පවරන ලෙස පැමිණිලි ගොනු කළ පාර්ශමව අල්ලස් කොමිසමෙන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කරමින් සිටියි. ඔහුට විරුද්ධව නඩු 763 ක් පවතින බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. එසේම ඉදිරියේදී ද නඩු කිහිපයක් පැවරීමට ද කණ්ඩායම් ගණනාවක් සුදානමින් සිටියි. කෙසේ හෝ ඔහුව සිරගත කිරීමට ද තවත් පිරිසක් මාන බලමින් සිටිති.එසේම ඔහු ලංකාවට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයෙකුට හිමි සියලු වරදාන හා වරප්‍රසාද ඔහුට හිමිවනු ඇත. වාහන දෙකක්. ආරක්ෂක අමාත්‍යාංශය හා බුද්ධි අංශ මගින් නිර්දේශ කරන පරිදි ඔහුට අවශ්‍ය ආරක්ෂකයන් සංඛ්‍යාව තීරණය කරනු ඇත. ඒ මත ආරක්ෂක සෙබළුන් වෙනුවෙන් අවශ්‍ය වාහන වෙන් කෙරෙනු ඇත.

ඊට අමතරව නිල නිවසකට ද හිමිකම් පවතියි. විශ්‍රාම වැටුපට අමතරව සංග්‍රහ වියදම් ද දුරකතන ගාස්තු ද හිමි ය. රාජ්‍ය තාන්ත්‍රික හිමිකමක් ද සහිතය. හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් නිල නිවසක් නොගෙන පෞද්ගලික නිවසේ සිටින බව ය. ජනාධිපති කාලයේ ද ඔහු සිටියේ පෞද්ගලික නිවසේ ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයේ පදිංචියට ගියේ අරගලකරුවන් ඔහුගේ නිවසට ඉදිරිපිටට පැමිණ විරෝධතාවය දැක්වූ අවස්ථාවේ ඇතිවූ ගැටුමෙන් පසුව ය.

කෙසේ නමුත් ගෝඨාභය රාපක්ෂ විදෙස්ගතව සිටීම ඔහුගේ මෙන්ම ලාංකීය ජනතාවගේ ද ඇගට ගුණ ය. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලංකාවට පැමිණිය‍හොත් ඔහුට දිනපතා උසාවි ගාණේ රස්තියාදු වීමට සිදුවේ. එම නිසා ඔහු විදෙස්ගතව සිටිම ඔහුට සුවදායක ය. නැතිනම් උසාවි ගානේ රස්තියාදුවීමෙන් නොනැවති බන්ධනාගාර ගතවීමට සිදුවුවහොත් එය ද ගැටළුවකි. අනෙක් පසින් ඔහු මෙරටට පැමිණියහොත් වැය කරන්නට සිදුවන්නේ ද මෙරට ජනතාවගේ බදු මුදල්ම ය.

ආර්ථික අමාරුකම් පවතින අවස්ථාවක එය ද ගැටළු සහගත ය. එසේ නම් ඔහු ලංකාවට නොපැමිණ එහි සිටිම ඔහුට මෙන්ම රටට ද වාසි සහගත ය. අනෙක් පැත්තෙන් තවත් පිරිසක් ඔහු ලංකාවට පැමිණෙන තෙක් බලා සිටින්නේ හිටපු ජනාධිපතිවරයාව ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ය. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් මේ වෙනුවෙන් කටයුතු කරමින් සිටිති. එසේ කරන්නට නම් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්විය යුතු ය. එයට ද ඔවුන් මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවට තොරතුරු ඇත. ඔවුන්ගේ ඊළග සැලසුම වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙනවිත් ඔහුව අගමැති කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට ය.

නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණ පාර්ලිමේන්තු යනවාද? නැතිනම් හිරේ යනවාද? යන්න තීරණය කරනුයේ අනාගත ඔහුගේ ක්‍රියාකලාපය අනුව ය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර