අපට තිස් තුන් කෝටියක දෙවි වරුන්ගේ පිහිට නොලැබෙන හේතුව මෙන්න!

අප රටේ බොහෝ දෙනෙක් ආගමික සංස්කෘතික වශයෙන් හෝ සමාජයීය වශයෙන් තිස් තුන් කෝටියක් දෙවි වරුන් පිළිබඳ විශ්වාසයක් දරති.ශ්‍රී ලංකාවේ වර්තමාන ජනගහනය කෝටි දෙකකට මඳක් වැඩි වන පසුබිමක් තුළ අපට තිස් තුන් කෝටියක් දෙවි වරුන් වෙත් නම් එක් අයකු වෙනුවෙන් දෙවි වරුන් පහලොවක් වත් සිටිය යුතු ය.එහෙත්,අප සමාජයට වර්තමානයේ සිදු වී ඇති ඛේදනීය තත්වය හමුවේ “මේ තිස් තුන් කෝටියක් දෙවි වරුන්ට මොනවා වෙලාදැ”යි අසන පිරිස් බොහොමයකි. නමුදු එහි ඇත්තම කතාව අනෙකකි. දේශීය ව්‍යවහාරයට ආ මෙම දෙවි වරු තිස් තුන් කෝටියේ කතාව පැරණි භාරතීය වෛදික සාහිත්‍යයෙන් අපට උරුම වූවකි.

මෙහි දැක්වෙන දෙවි වරු තිස් තුන් කෝටිය යනු යනු ඇතැම් විදේශීය ‘උගතුන්’ විසින් වෛදික සංස්කෘත භාෂාව වැරදි ලෙස පරිවර්තනය කිරීම නිසා සම්පූර්ණයෙන්ම වැරදි ලෙස අර්ථ කථනය කරන ලද කරුණක් බව පෙනී යයි.පැරණි වෛදික සාහිත්‍යට අයත් අථර්වවේදයේ, යජුර්වේදයේ සහ සතපථ බ්‍රාහ්මණයේ සඳහන් වන ‘ත්‍රායස්ත්‍රිම්සති කෝටි’ යන පදය නිවැරදිව පරිවර්තනය කර ඇත්තේ දෙවිවරුන් 33 කොටසක් හෝ වර්ගයක් ලෙසිනි.

කෝටි යන පදයට සංස්කෘත භාෂාවෙන් අර්ථ දෙකක් ඇත, එකක් ‘වර්ගය’ සහ අනෙක කෝටිය යන්න ය.නමුදු, පරිවර්තනයේ දී කෙලෙසක හෝ සනාතන ධර්මේ/හින්දු ආගමේ හිඳිනුයේ උත්තරීතර දෙවිවරුන් වර්ග33ක් පමණි.ඒ අනුව කෝටි 33ක් නොවේය යන මූලික කාරණය ඔවුන්ට මඟ හැරී තිබේ.වේදයට අනුව දෙවිවරුන් කොටස් තිස් තුන පහත රටාවන් අනුව වෙන් කර ඇත: ආදිත්‍ය12 +රුද්‍ර 11 +වාසස් 8 +ප්‍රජාපති 1+ පරමේශ්වර 1=එකතුව 33 මේ සම්බන්ධ තවත් දීර්ඝ වශයෙන් කරුණු දැක්විය හැකි මුත් එම ශාස්ත්‍රීය කරුණු සාමාන්‍ය පාඨකයාට නීරස විය හැකි බැවින් එසේ නොකරමි.

වෛදික දෙවිවරුන් 33 දෙනා නම් වශයෙන් හා ගුණ වශයෙන් වේදයේ දක්වා ඇති අතර12 ආදිත්‍ය (පුද්ගලාරෝපිත දෙවිවරුන්) සූර්ය මාස 12 ට අනුරූප වන අතර සමාජ ජීවිතයේ විවිධ ගුණාංග නියෝජනය කරයි. වෛදික සෘෂිවරුන් විශේෂයෙන් ආදිත්‍යවරුන්ට ගරු කළ අතර වේද ඉන්ද්‍ර, අග්නි, සූර්යයා, වරුන් සහ ඒ හා සමාන අය සඳහා කැප වූ ගීතිකා වලින් පිරී ඇත. මෙම දෙවි වරුන්ගේ ගුණ හා උසස් මානව ධර්මතා අතර ගැලපීම ඉන්දීය සමාජ හා මානව විද්‍යාඥයන් ගේ නොමඳ අවධානයට යොමු ව ඇති අතර ඔවුන් ගේ පොදු මතය වී ඇත්තේ ඉහත දෙවි වරුන් තිස් තුන නියෝජනය කරන මානව ධර්මතා ප්‍රගුණ කිරීමෙන් පමණක් පුද්ගල හා සමාජ සංවර්ධනය උදා කර ගත හැකි බව වෛදික ඉගැන්වීම් ඔස්සේ දාර්ශනිකව සනාථ කර ගත හැකි බව ය.

ඒ අනුව බලන විට ශ්‍රී ලාංකේය අපට මෙම තිස් තුන් කොටසේ හෝ තිස්තුන් කෝටියේ දෙවි වරුන්ගේ පිහිට කෙසේ නම් ලබා ගත හැකිද?යන්න අප විසින්ම ගැඹුරින් සිතා බැලිය යුතුව තිබේ.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර