2023 වසරේ ලෝකයට මොනවා වෙයි ද?

2022 වසර අවසන් වීමට ඇත්තේ තව දින දෙකක් පමණි. මෙම වසර ලෝකය බොහෝ හැලහැප්පීම්වලට මුහුණ දුන් වසරක් බව රහසක් නොවේ. නව වසරක් උදාවීමට ආසන්නව ඇති මේ අවස්ථාවේ බොහෝ දෙනා ඒ ගැන බලාපොරොත්තු සහගතව සිටින්නේ යයි පැවසිය හැකිය. නමුත් ඉදිරි වසර පිලිබඳව පළවන ඇතැම් අනාවැකිවලින් නම් හැඟී යන්නේ ලෝකවාසීන්ගේ එකී බලාපොරොත්තු ඉටු කිරීමට එම වසරට හැකි වේවිද යන්න සැක සහිත බවයි.

වසර තුනකට පෙර ලොව බිලිගත් කොවිඩ් වසංගතය 2023 වසර තුළ බොහෝ දුරට තුරන්ව යනු ඇති බවට බොහෝ විශේෂඥයෝ අදහස් පළ කරති. එය සතුටට කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් අලුත් වයිරස ප්‍රභේද ඇති වුවහොත් නැවතත් ගැටලු ඇති විය හැකි බව ද අමතක කළ හැකි නොවේ. මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වසංගතය හඳුන්වා ඇත්තේ ගෝලීය හදිසි තත්ත්වයක් ලෙසිනි. තවදුරටත් එම තත්ත්වය පවත්වා ගැනීමට ඉදිරි වසරේ අවශ්‍ය නොවන්නට ඉඩ තිබේ. නමුත් මේ දිනවල චීනයේ පවතින කොවිඩ් තත්ත්වය තවදුරටත් බොහෝ පාර්ශ්ව තුළ යම් නොසන්සුන් බවක් ඇති කරන්නට සමත්ව ඇති බව පෙනේ.

චීනයේ පැතිරෙමින් ඇති අලුත් කොවිඩ් රැල්ල තුළ දිනකට ආසාදිතයන් වන සංඛ්‍යාව මිලියනයක් පමණ විය හැකි බව විශේෂඥයන්ගේ අදහස යි. නමුත් චීන රජයේ නිල වාර්තා එතරම් බරපතල තත්ත්වයක් පෙන්වන්නේ නැත. චීනය සැබෑ තත්ත්වය වසන් කරන බවට ද චෝදනා එල්ල වේ.

කෙසේ හෝ වේවා, එරට පැතිරෙමින් ඇති අලුත් රැල්ල තුළ තවත් අලුත් වයිරස ප්‍රභේද මතු වී ඔමික්‍රොන් වැනි ප්‍රභේද මෙන් ලොව පුරා පැතිරෙන්නට පටන්ගතහොත් 2023 වසරේ ද කොවිඩ් තර්ජනයෙන් ගැලවීමට අපට නොහැකි වීමට ඉඩ තිබේ. චීනයේ පවතින තත්ත්වය තම රටවලටත් ඇතුල් වීම වලක්වා ගැනීමට මේ වනවිටත් ලොව බොහෝ රටවල් විවිධ ආරක්‍ෂක පියවර ගනිමින් සිටින බව ද දැකිය හැකි වේ.

මේ අතර අලුත්ම වසංගත ඇති වීමේ අවදානම ද විශේෂඥයන්ගේ නොමඳ අවධානයට ලක්වන්නකි. අනාගතයේ ඇති විය හැකි එවැනි වසංගතවලින් ආරක්‍ෂා වීම සඳහා ගත යුතු පියවර ගැන මේ වනවිටත් මෙම විද්‍යාඥයන් සැලකිල්ල යොමු කරමින් සිටින අතර 2023 වසර තුළ මෙම කටයුතු වඩාත් ඉදිරියට යනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ සම්බන්ධයෙන් ඉදිරි වසර තුළ විශේෂ පියවර ගැනීමට සූදානමින් සිටියි. වසංගත වැලැක්වීම, ඒ සඳහා සූදානම් වීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර සම්මුතියක් අත්සන් කිරීම එවැනි එක් වැදගත් පියවරකි. 2023 වසරේ මේ පිලිබඳ අවසන් තීන්දු තීරණවලට එළැඹීමට හැකි වනු ඇති බවත්, 2024 වසරේ එවැනි ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවත් අපේක්‍ෂා කෙරේ. අනාගතයේ ඇති විය හැකි වසංගත වලක්වා ගැනීමට සහ ඒවාට මුහුණ දීමට වඩා හොඳ සූදානමක් ඇති කර ගැනීමට මෙවැනි ගිවිසුමක් හරහා හැකි වනු ඇත.

2023 වසරේ ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් ද පළ වන්නේ එතරම් සතුටුදායක අනාවැකි නොවේ. ලෝකයේ බොහෝ රටවල ආර්ථික අවපාතයන් ඇති විය හැකි බව ආර්ථික විශේෂඥයන්ගේ අදහස වී තිබේ. මේ වනවිටත් ලෝක ආර්ථිකය අතිශය දරුණු ආකාරයේ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව නොරහසකි.

කොවිඩ් වසංගතයේ බලපෑම, යුක්රේන යුද්ධයේ බලපෑම වැනි කාරණා නිසා ලොව බොහෝ රටවල උද්ධමනය ඉහළ යමින් තිබේ. මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා රටවල් විවිධ පියවර ගනිමින් සිටින අතර පොලී අනුපාත ඉහළ දැමීම වැනි කාරණා ඒ අතර විශේෂත්වයක් ගනියි. ලොව ආර්ථික වර්ධනය අඩාල කිරීමට මෙම තත්ත්වය හේතුවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ නිසා බොහෝ රටවල දේශපාලන සහ සමාජයීය වශයෙන් ගැටුම්කාරී තත්ත්වයන් පැන නැගිය හැකි බව නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති.

ආහාර අර්බුදය ඉදිරි වසරේ ද ලෝකය තුළ තවදුරටත් හොල්මන් කරනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනවල විශ්වාසය යි. ආහාර හිඟයටත් වඩා ඒවායේ මිල අධික වීම විශාල ප්‍රශ්නයක් වනු ඇති බවට අනාවැකි පළ වේ.

කොවිඩ් වසංගතය නිසා වෙනත් බොහෝ සෞඛ්‍ය සේවාවන් ද අඩාල වීමක් පසුගිය කාලයේ දැකිය හැකි විය. පෝලියෝ වැනි විවිධ රෝග සඳහා කුඩා දරුවන්ට එන්නත් ලබා දීමේ වැඩසටහන් ලොව බොහෝ රටවල අඩාල විය. මෙහි බලපෑම ද ඉදිරි කාලයේ වඩාත් දැනෙන්නට පටන් ගනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස යි. සමහර විට එවැනි රෝගවල හිස එසවීමක් 2023 වසරේ ඇති වීමට ඉඩ තිබේ.

මේ අතර ඉදිරි වසරේ සිදුවීමට නියමිතව ඇති විශේෂ අවස්ථා ගැනද මේ දිනවල මාධ්‍ය තුළ යම් අවධානයක් යොමු වේ. 3 වැනි චාල්ස් රජුගේ අභිෂේක උත්සවය එවැනි එක් අවස්ථාවකි. ලබන වසරේ මැයි 6 වැනි දින මෙම උත්සවය පැවැත්වෙනු ඇති බව මේ වනවිට ප්‍රකාශයට පත්ව තිබේ. මෙම උත්සවය සඳහා කරන වියදම් බොහෝ දුරට අඩු මට්ටමක තබා ගැනීම චාල්ස් රජුගේ අපේක්‍ෂාව බව ද පසුගිය කාලයේ සඳහන් විය.

ක්‍රිකට් ලෝලීන්ට වැදගත් අවස්ථාවක් ද 2023 වසරේ උදාවීමට නියමිතව තිබේ. එනම් ලෝක කුසලාන එක් දින තරගාවලිය යි. එය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර්-නොවැම්බර් මාසවල ය. මෙවර තරගාවලියේ සත්කාරක රට වන්නේ ඉන්දියාව යි. රගර් ලෝක කුසලාන තරගාවලිය ද 2023 සැප්තැම්බර්- ඔක්තෝබර් මාසවල ප්‍රංශයේ දී පැවැත්වේ.

ඉන්දියාවේ ජනගහණය චීනයේ ජනගහණය ඉක්මවා යාම ද 2023 වසරේ සිදුවනු ඇති බව අපේක්‍ෂා කෙරේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර