මහින්ද රාජපක්ෂගේ  81 වැනි උපන්දිනය අදයි

හිටපු ජනාධිපතිවරයකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වැනි උපන්දිනය අදට (18) යෙදී තිබේ.1945 නොවැම්බර් 18 වැනිදා දකුණු පළාතේ වීරකැටිය ප්‍රදේශයේදී උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහතා 1970 වසරේදී බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. එතැන් සිට දශක පහකට අධික කාලයක් මෙරට දේශපාලනයේ නිරතව සිටි දේශපාලනඥයෙකි.2004 වසරේදී පළමුවරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 19 වැනිදා මෙරට පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.එම කාල සීමාව තුළදී ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස හැඳින්වුණු එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ත්‍රිවිධ හමුදාව මෙහෙයවමින් 2009 වසරේ මැයි මස 18 වැනිදා එතෙක් වසර 30කට ආසන්න කාලයක් පැවැති සිවිල් යුද්ධය මුළුමනින් නිමා කිරීම ඔහුගෙන් ඉටු වූ ඓතිහාසික මෙහෙවරකි.ඉන් පසුව 2010 වසරේදී දෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත්වූ ඒ මහතා 2015 ජනවාරි 09 වැනිදා දක්වා එම ධුරය හෙබවීය.ඉන් අනතුරුව ද 2018 සහ 2019 වසරවලදී අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා 2022 මැයි මාසය දක්වා එම ධුරයේ කටයුතු කළේය.මෙරට දේශපාලන ඉතිහාසයේ දීර්ඝ කාලයක් විවිධ තනතුරු හෙබවූ දේශපාලනඥයකු වන ඒ මහතාගේ දේශපාලන භූමිකාව පිළිබඳව අදටත් විවිධ දේශපාලන හා සමාජීය සංවාද පවතී.මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් දේශපාලන හිතවතුන්, පක්ෂ සාමාජිකයන් සහ ආධාරකරුවන් සුබපැතුම් එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලීන පුවත්