ලොව සුපිරිම පාපන්දු ක්‍රීඩකයකු වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ දිනවල නැවතත් මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගනිමින් සිටියි. ඒ ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමත් සමගිනි. ඒ පාපන්දු ක්‍රීඩකයන් අතරින් පමණක් නොවේ, සියලුම ක්‍රීඩාවන්ට අයත් සමස්ත ක්‍රීඩකයන් අතරිනි.
රොනාල්ඩෝ මේ ආකාරයෙන් ආදායම් අතින් අංක 1 ස්ථානයට පත් වන්නේ පසුගිය දා ඔහු විසින් පාපන්දු සමාජයක් සමග අත්සන් කරන ලද ගිවිසුමකින් පසුව ය. ඔහු මෙම ගිවිසුම අත්සන් කළේ සෞදි අරාබියේ අල්-නස්ර් නැමැති පාපන්දු සමාජයක් සමග යි. මේ අනුව ඔහු ඉදිරි කාලයේ (පෘතුගාල ජාතික කණ්ඩායමට අමතරව) ක්‍රීඩා කරනු ඇත්තේ එම පාපන්දු සමාජය වෙනුවෙනි. මෙම ගිවිසුමට අනුව වසරකට ඔහුට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 200 කට ආසන්න ය. එය ලංකා රුපියල්වලින් කෝටි 7,300 කට ආසන්න මුදලකි. රොනාල්ඩෝ මෙම ස්ථානයට පත් වීමට පෙර 2022 වසරේ එම ස්ථානයේ පසු වූයේ තවත් සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකි. එනම් මේ දිනවල පාපන්දු ලෝකයේ වීරයා බවට පත්ව සිටින ආජන්ටිනාවේ ලියනෙල් මෙසී ය. එම වසරේ මෙසී ගේ ආදායම ඇ. ඩොලර් මිලියන 130 ක් ( ලංකා රුපියල් කෝටි 4,700 ක් පමණ) බව සඳහන් වේ.
රොනාල්ඩෝ සෞදි අරාබියේ අල්-නස්ර් පාපන්දු සමාජය සමග එක්වීමට පෙර ඔහු ක්‍රීඩා කළේ බි්රතාන්යයේ මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජය වෙනුවෙනි. නමුත් පසුගිය වසරේ ඔහු එයින් ඉවත් විය. ඊට හේතු වී තිබුණේ එහි කළමනාකාරවරයා ඇතුළු ඉහළ නිලධාරීන් සමග ඇති කරගත් මතභේදයකි. මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු ඉහත කී නිලධාරීන් විවේචනය කිරීමත් සමග ඔහුට එම පාපන්දු සමාජයෙන් ඉවත් වීමට සිදු වූ බැව් වාර්තා විය.
රොනාල්ඩෝ වැනි ක්‍රීඩකයකු තම පාපන්දු සමාජයට එක් කර ගැනීමට හැකි වීම අල්-නස්ර් සමාජයේ ඉදිරි ගමනට මෙන්ම සෞදි අරාබියේ පාපන්දු ක්‍රීඩාවට ද විශාල තල්ලුවක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. 2030 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලයේ සත්කාරක රට බවට පත් වීමේ බලාපොරොත්තුවක් ද සෞදි අරාබිය තුළ තිබේ. ඒ සඳහා දරණ උත්සාහයේ දී රොනාල්ඩෝ තානාපතිවරයකු ලෙස කටයුතු කරනු ඇති බව සඳහන් වේ. මෙයට අදාල වගන්තියක් ද ඔහු අත්සන් කළ අලුත් ගිවිසුමේ අඩංගු වන බව පැවසේ. කෙසේ නමුත් එම ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නම් ඔහුට නොහැකි වනු ඇත. මේ වනවිට 37 වැනි වියෙහි පසුවන රොනාල්ඩෝගේ වයස 2030 වනවිට අවුරුදු 45 ක් වනු ඇති බැවිනි.
පසුගිය දා අවසන් වූ ලෝක කුසලාන තරගාවලිය ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වීමට බොහෝ දුරට ඉඩ තිබේ. නමුත් එහි දී ඔහුට පාපන්දු ලෝලීන් අපේක්ෂා කළ තරම් දස්කම් දැක්වීමට හැකි වූයේ නැත. තරගාවලිය තුළ ඔහුට රැස් කිරීමට හැකි වූයේ එකම ගෝලයක් පමණි. එය ද දඬුවම් පහරකින් ලබා ගත් ගෝලයක් විය. පෘතුගාලය සහභාගි වූ තරග දෙකකදීම රොනාල්ඩෝ පළමු 11 දෙනාට ඇතුළත් කෙරුණේ ද නැත. ඒ අතරින් එක් තරගයක දී ඔහු පිටියට ආවේ අතිරේක ක්‍රීඩකයකු ලෙසිනි.
තමාගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වීමට ඉඩ ඇති මෙම තරගාවලියේ දී දස්කම් දැක්වීමට නොහැකි වීම ඔහු තුළ යම් කම්පාවක් ඇති කරන්නට ඇතුවාට සැකයක් නැත.
ලෝක කුසලාන තරගාවලියට මාස කිහිපයකට කලින් ද ඔහුගේ ජීවිතයට දැඩි බලපෑමක් කළ අත්දැකීමකට මුහුණ දීමට රොනාල්ඩෝට සිදු විය. පසුගිය අප්‍රේල් මාසයේ ඔහු සහ ඔහුගේ සහකාරිය වන ජෝර්ජිනා නිවුන් දරු දෙදෙනකු අපේක්ෂාවෙන් සිටියෝය. ඒ පුතෙකු සහ දියණියකි. නමුත් දරු උපත අවස්ථාවේ පිරිමි දරුවා ජීවිතක්ෂයට පත් විය. මෙම අනපේක්ෂිත සිද්ධියෙන් රොනාල්ඩෝ සහ ජෝර්ජිනා දැඩි කම්පනයට පත් වූහ.
මෙම සිදුවීමෙන් තමා දැඩි ලෙස සසළ වූ බැව් රොනාල්ඩෝ පවසා තිබිණි. නැවත ක්‍රීඩාවට සිත යොමු කිරීම පවා මහත් අසීරු කටයුත්තක් වූ බවත්, එහිදී ජෝර්ජිනා තමාට මහත් ශක්තියක් වූ බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය. ඒ වනවිට රොනාල්ඩෝ ක්‍රීඩා කළේ බි්රතාන්යයේ මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජය වෙනුවෙනි. එම අවස්ථාවේ බි්රතාන්ය රජ පවුල පවා ශෝකය පළ කරමින් තමාට ලිපියක් එවා තිබූ බවත්, තමා එය කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් බවත් ඔහු පවසා තිබිණි.
නිහාල් පීරිස්