ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු දේශපාලනය මේ වන විට ප්‍රාදේශීය වශයෙන් සැලකිය යුතු පසුබෑමකට ලක් වෙමින් පවතින බව අනාවරණය වෙයි.ඒ මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය පාලනය බිඳ වැටී ඇති පසුබිමක ය.ව්‍යවස්ථානුකූලව වසර හතරක කාලයකට පසු පසුගිය වසරේ මාර්තු 20 වනදා පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණ ද විෂය භාර අමාත්‍යවරයා සිය බලතල ප්‍රකාරව නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණි.ඒ අනුව එම පළාත් පාලන ආයතන 340 නිල කාලය පසුගිය 19 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.එම ආයතනවල සභිකයින්ගේ නිල කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍යවරයාට බලය නොපැවරෙන බැවින් සහ ඡන්ද විමසීමකින් මෙතෙක් සභිකයින් පත්කරගැනීමක් සිදුව නොමැති බැවින් මේ වන විට ඒවා පත්ව ඇත්තේ රාජ්‍ය නිලධාරීන් වෙතට ය.ඒ අනුව මහ නගර සභා 29 හි බලය නාගරික කොමසාරිස්වරුන් යටතටත්, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275 හි බලය එම ආයතනවල ලේකම්වරුන් යටතටත් මේ වන විට පත්ව තිබේ.මේ තත්වය යටතේ අද එම පලාත් පාලන ආයතන වල මන්ත්‍රී ධුර දැරූ සභිකයන් අද වන විට”අශ්වයා මළ කවුබෝයිලා ගේ” තත්වයට පත් ව ඇතැයි ඔවුනට සමීප ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිදු වෙමින් පවතින මෙම බිඳ වැටීම නාය යාමක ළකුණු ද පහළ කොට ඇත්තේ ඔවුන්ගෙන් සමහරකු ජාතික ජන බලවේගය සහ සමඟි ජන බලවේගය පැත්තට නැඹුරු වීමක් පෙන්නුම් කරන බැවිනි.නමුත් මෙම බිඳ වැටීමට කඩිනම් විසඳුමක් ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ දී තිබේ.එනම් පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වුව ද තම පක්ෂයෙන් එම ආයතනවලට පත්ව ඇති මන්ත්‍රීවරුන් දිගට ම අදාළ ආයතනවල මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ යුතු බව ඔහු පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට දැනුම් දීමෙනි.මෙය අතිශයින් වැරදි උපදේශයකි.එවැනි කටයුතු වල නියැලීමට ඔවුන් කිසිවකුටත් නීත්‍යානුකූල අයිතියක් නැත.එමෙන්ම කිසිවකු ඒ සඳහා උත්සාහ දරන්නේ නම් එය අයථා බලහත්කාරී ක්‍රියාවකි.එහෙත් ඉදිරි පළාත් පාලන මැතිවරණය හා පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මෙම තීරණය ගෙන ඇත. පළාත් පාලන මැතිවරණය නොපවත්වනවා නම් රාජ්‍ය නිලධාරීන් මැදිහත් වී නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතනවල වැඩකටයුතු කරනවාට වඩා පසුගිය ඡන්දයෙන් පත්වූ නියෝජිතයන් ම එම ආයතනවල කටයුතු කිරීම සුදුසු බවට පොදුජන පෙරමුණේ මතය වී ඇත.
2018 පළාත් පාලන ඡන්ද විමසීමට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ට ජයක් ලබා ගෙන තිබේ.පළාත් පාලන ආයතන 340 අතුරින් පළාත් පාලන ආයතන 239 කට අධික ප්‍රමාණයක ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් විය.ඒ අනුව ඔවුන් සමස්ත දිස්ත්‍රික්ක 24න් දිස්ත්‍රික්ක 19ක බහුතර බලය තහවුරු කරගෙන තිබේ.2018 පළාත් පාලන ඡන්ද විමසීමේ සමස්ත ප්‍රතිඵලයට අනුව පළාත් පාලන ආයතන 340න් 239කට අධික පළාත් පාලන ආයතන රැසක බලය තහවුරු කර ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි.එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 36 ක බලය හිමි කර ගැනීමට සමත් වී තිබේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් පාලන ආයතන 9ක බලය තහවුරු කර ගෙන ඇත.පළාත් පාලන ඡන්දය පවත්වන තුරු එසේ කටයුතු කිරීම සුදුසු බව ද මෙම කාරණය පිළිබඳව නීති මගින්ද ගත හැකි සාධාරණ ක්‍රියාමාර්ගයක් පිළිබඳ ඉදිරියේදී සලකා බලන බව බැසිල් රාජපක්ෂගේ හොරණෑව ලෙස ඇතැමුන් හඳුන්වන පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් ද පවසා ඇත.ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික් මට්ටමින් හා ආසන මට්ටමින් පැවැත්වෙන සම්මේලනයට අමතරව අපේක්ෂකයන් තම බල ප්‍රදේශයේ සුහද හමු මගින් පාක්ෂිකයන් දැනුවත් කිරීම කළ යුතු බව ද මෙම සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ පවසා ඇත.පළාත් පාලන ආයතනවල ධූර කාලය අවසන් වුව ද ඡන්දය පවත්වන තුරු පසුගිය මැතිවරණයෙන් පත්වූ සභිකයන් ම එම ආයතනවල වැඩකටයුතු කර ගෙන සෑම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සතියේදී බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.එහෙත් මෙය මේ වන විට බලය පිරිහීමේ රෝගයෙන් පීඩාවට පත්ව හිඳින පොදු පෙරමුණු ප්‍රාදේශීය දේශපාලනඥයන් සඳහා දෙන වේදනා නාශක පෙත්තක් ද විය හැක.
බැසිල් රාජපක්ෂ යනු ශ්‍රී ලංකා දේශපාලනයේ උපායශීලී චරිතයකි.ඔහු ගේ පාක්ෂිකයන් ඔහුට තබා ඇති “මොළ හතේ” නාමය ඔහුගේ දක්ෂ පරිනත භාවයට වඩා ඔහු සතු මේ සූත්තර ගණයේ වැඩ මත පදනම් වන්නකි.මේ නිසාම සමහර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාක්ෂිකයෝ බැසිල් රාජපක්ෂ නුරුස්සති.පසුගිය කාලයේ ඔහුට පට බැඳුණු “කපුටු” නාමය මාධ්‍ය සාකච්ඡාවක ඉංග්‍රීසියෙන් කතා කරමින් හිඳින අතරේ crow යන ඉංග්‍රීසි වදන “කපුටාස්” යනුවෙන් උච්චාරණය කිරීම නිසා පට බැඳුණු එකක්ම නොවේ.ජන සම්මත්යට අනුව කපුටා ද පැහැර ගැනීම් වලට අති දක්ෂ සතෙකු නිසා බැසිල් රාජපක්ෂ ගේ චර්යා රටාවන් ද ඊට සමාන නිසා පටබඳින ලද්දකි.එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන්ම තිබිය යුතුය යන මතයේ හිඳින පොදු පෙරමුණු සාමාජිකයෝ ද බැසිල්ට පට බැඳුණු මේ කපුටු නාමයෙන් නොමඳ ආශ්වාදයක් ලබති.
මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකට සහභාගී වූ පිරිසක් ගාලු මුවදොර අරගල භූමියට පැන සිදු කළ මිලේච්ඡ පහරදීම මහින්ද රාජපක්ෂගේ ජීවිතයෙන් කිසිදා මකා දැමිය නොහැකි කලු පැල්ලමකි.එනිසාම ජාතියේ අසම සම වීරයා ලෙස පාක්ෂිකයන් ගේ ගෞරව බහුමානයට ලක් වූ ඔහුට ජනතාවගෙන් තම ජීවිතය බේරා ගැනීමට ටික කලක් ත්‍රීකුණාමලයේ නාවික හමුදාව සතු ආරක්ෂිත කලාපයක සැඟවී සිටීම ද සිදු විය.මෙවන් පසුබිමක් තුළ ඊළඟ පළාත් පාලන මැතිවරණයකින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය සැළකිය යුතු ලෙස පළුදු වී තිබේ.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලය අහිමි ප්‍රාදේශීය දේශපාලනඥයන් ද මේ බව දන්නා බැවින් බැසිල් රාජපක්ෂගේ “සීනි පෙති”වලඉන් ඔවුන්ගේ එම වේදනාව සුව වෙතැයි සිතිය නොහැක.
හේමන්ත රන්බණ්ඩාර