නාමල් පොහොට්ටුවේ මුදුනටම?

මේ මාසය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ( පොහොට්ටුව ) තුළ විශේෂ ස්ථානයක් හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ සඳහා නාමල් රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨත්වය හෝ වෙනයම් සුදුසුකම් වලට වඩා ඔහු රාජපක්ෂ පරපුර නියෝජනය කිරීම ඊට හේතුව බව ද පැවසෙයි.නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැමුන් තුළ පවුල් දේශපාලනය කෙරෙහි කිසිදු ප්‍රසාදයක් නොමැති අතර ඔවුන්ගේ මතය වී ඇත්තේ පසුගිය ගෝල්ෆේස් අරගලයෙන් මතු වූ ජනතා පිබිදීම ද පවුල් දේශපාලනය ඉඳුරාම පිටු දැකීම මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද මීට වඩා ප්‍රජාතත්ත්‍රීය ස්වරූපයකින් ඉදිරියට යා යුතු බවකි.එහෙත් ඊට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම පවසා ඇත්තේ ගාලුමුවදොර අරගලය රාජපක්ෂ වරුන් දේශපාලනයෙන් අතු ගා දැමීම පිණිස කිසියම් පාර්ශවයක් සැලසුම් කළ කුමන්ත්‍රණයක් මිස සැබෑ ජනතා හඬ නැඟීමක් නොවන බව ය.එමෙන්ම ශ්‍රී ලාංකේය දේශපාලනයේ මහින්ද රාජපක්ෂ ප්‍රතිරූපය කිසිදා මැකී නොයන්නක් බවත් අදටත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව මහින්ද රාජපක්ෂ ප්‍රතිරූපයට මහත් සේ ගරු කරන බවත් ඒ පාර්ශවයේ මතයයි.මහින්ද රාජපක්ෂ මහතා ගේ ඉවත් වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිඳ වැටීම ඊට කදිම නිදසුනක් සේ පෙන්වා දෙන ඔව්හු වැඩි දුරටත් කියා සිටිනුයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය හිමි කළ යුතු මීළඟ රාජපක්ෂ පරපුරේ අනුප්‍රාප්තිකයා නාමල් රාජපක්ෂ මහතාම විය යුතු බවකි.ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ විශේෂ ස්ථානයක් හිමි වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්