එළඹෙන මහ කන්නයේ දී වී අස්වැන්න 2021 වසරට පෙර තිබූ තත්වයට ළඟා වීමට නම් ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව නියම වේලාවට බිම් සකස් කර වගා ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බවපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි.මෙවර යල කන්නයේ වී වගා කළ භූමි ප්‍රමාණයෙන් අක්කර හැටදහසක් පමණ ජලය නොමැතිව විනාශ වූ බවද මේ නිසා අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයකින් පමණ අඩුවී ඇතැයි ද මහාචාර්ය මාරඹේ මහතා කීය. පසුගිය මහ කන්නයේ දී පොහොර අවශ්‍ය ප්‍රමාණය ගොවීන්ට ලබා දීමට අපොහොසත් වීම නිසා අස්වැන්න 15 % කින් පමණ අඩු වූ බවත් මේ තත්වය තුළ 2021ට පෙර තිබූ තත්වයට අස්වැන්න ගෙන ඒමට තවමත් නොහැකි වී තිබෙන බවත් පැවසූ මහාචාර්ය වරයා මෙම වසර එල්නිනෝ වසරක් වන බැවින් ඉදිරි ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී සංවහන වැසි ද දෙසැම්බර් මාසයේ දී ඊසාන දිග මෝසම් වැසි ද ජනවාරි පෙබරවාරි මාසවල ඊසාන දිග මෝසම් වියළි කාලගුණික තත්ත්වය ද ඇතිවිය හැකි බව කීය. ඒ නිසා ගොවීන් ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමුකොට ඉදිරි මහ කන්නය කලට වේලාවට බිම් සකස් කොට වගා කිරීමට කටයුතු කළ යුතුව තිබෙන බවත් මහාචාර්යවරයා කීය.