සුපිරි නළු විජේ සේතුපති ගේ ජීවිත කතාවෙන් බිඳක්

vinivida

ශ්‍රී ලංකාවේ සිනමාලෝලීන් අතර ද අතිශයින් ජනප්‍රිය ඉන්දියානු සිනමා නළු විජේ සේතුපති ගේ අලුත්ම සිනමාපටය මේ දිනවල බොහෝ ප්‍රේක්‍ෂකයන් වසඟයට ගෙන ඇති ආකාරය දැකිය හැකියි. එම සිනමාපටයේ නම ‘මහරාජා’. මේ දිනවල මෙරට සිනමා ශාලාවල ද තිරගත වන ‘මහාරාජා’ දක්‍ෂ අධ්‍යක්‍ෂවරයකු වන නිතිලාන් සාමිනාදන් ගේ අධ්‍යක්‍ෂණයක්.

මෙම චිත්‍රපටයේ විජේ රඟපාන්නේ බාබර් කෙනෙකු ගේ හෙවත් කරණවෑමියකු ගේ චරිතයක්. මෙය කුණු බක්කි සොරකමක් සහ පලිගැනීමේ සිදුවීම් දාමයක් පසුබිම් කරගත් මහත් කුතුහලය දනවන කතාපුවතකින් යුතු සිනමාපටයක් වන අතර සාමාන්‍ය ප්‍රේක්‍ෂකයන්ගෙන් මෙන්ම සිනමා විචාරකයන්ගෙන් ද පැසසුම් ලබන්නට එය සමත් වුණා. සමාජ මාධ්‍ය තුළ ද මේ සිනමාපටය ගැන විශාල වශයෙන් කතාබහට ලක් වනු මේ දිනවල දැකගත හැකියි. 2024 වසරේ වැඩිම ආදායම් ඉපැයූ දෙමළ චිත්‍රපට අතර දෙවැනි තැන හිමි කරගන්නටත් ‘මහරාජා’ සමත්ව තිබෙනවා. (පළමු තැන හිමි කරගෙන සිටින්නේ කමල් හසන් ගේ අලුත්ම චිත්‍රපටය වන Indian 2 චිත්‍රපටය යි)

‘මහරාජා’ හි රූපගත කිරීම් ආරම්භ කර තිබුණේ පසුගිය වසරේ මුල් භාගයේ යි. එම රූ ගත කිරීම් ප්‍රධාන වශයෙන් සිදු කර තිබුණේ චෙන්නායි නුවර ආශ්‍රිතව යි. එම කටයුතු සඳහා මාස පහක පමණ කාලයක් ගතව තිබුණා.

‘මහරාජා’ විජේ සේතුපති ප්‍රධාන චරිතයක් රඟපාන 50 වැනි චිත්‍රපටය වීමත් විශේෂත්වයක්. විජේ චිත්‍රපටයක රඟපෑම සඳහා මුල් වරට තිර පරීක්‍ෂණයකට පෙනී සිට තිබුණේ වයස අවුරුදු 16 දී යි. එම චිත්‍රපටයේ නම ‘නම්මාවර්’. කමල් හසන් තමයි එහි ප්‍රධාන චරිතය නිරූපනය කළේ. තිර පරීක්‍ෂණයට පෙනී සිටියත් විජේව චිත්‍රපටය සඳහා තෝරා ගත්තේ නැහැ. ඒ ඔහු උස මදි වීම නිසා බවයි සඳහන් වන්නේ.

‘මහරාජා’ චිත්‍රපටය නිසා විජේ සිනමාලෝලීන්ගේ වීරයකු වී සිටින මේ දිනවල ඔහුගේ පෞද්ගලික ජීවිත තොරතුරු ටිකක් කියවන්නත් රසිකයන් කැමැති වේවි.

මේ වනවිට 46 වැනි වියෙ හි පසුවන විජේ උපත ලැබුවේ 1978 ජනවාරි 16 වැනිදා යි. ඔහු උපන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ රජපලායම් නැමැති ප්‍රදේශයේ යි. ඔහුට වයස අවුරුදු 10 ක් පමණ වෙද්දී ඔවුන් චෙන්නායි නුවරට පැමිණ තිබුණා. ඔහුගේ අධ්‍යාපන කටයුතු වැඩි හරියක් සිදුව තිබුණේ එහි සිටියදී යි. තමා අධ්‍යාපනයට එතරම් දක්‍ෂකමක් දැක් වූ දරුවකු නොවූ බව විජේම ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ තමා සාමාන්‍ය මට්ටමටත් වඩා පහළ මට්ටමේ ශිෂ්‍යයකු වූ බව යි. එමෙන්ම ක්‍රීඩා වැනි බාහිර ක්‍රියාකාරකම්වලටත් ඔහු කැමැත්තක් දක්වා තිබුණේ නැහැ.

තරුණ වියේ මුල් කාලයේ ඔහු විවිධ සුළු රැකියාවල නිරත වුණා ලු! ආහාර වෙළෙඳසැලක මුදල් අයකැමියකු, එනම් කැෂියර් කෙනෙකු හැටියටත්, සිල්ලර වෙළෙඳසැලක අලෙවිකරුවකු හැටියටත්, දුරකතන ඇමැතුම් මධ්‍යස්ථානයක දුරකතන ක්‍රියාකරුවකු හැටියටත් විජේ කටයුතු කර තිබුණා. උසස් අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසු සිමෙන්ති තොග වෙළෙඳ ආයතනයක ගිණුම් සහකරුවකු ලෙස විජේ කටයුතු කළ බව පැවසෙනවා.

විජේ කලක් රැකියාවක් සඳහා ඩුබායි නුවරටත් ගොස් සිටියා. තම පවුලේ සහෝදාර සහෝදරියන් තුන් දෙනෙකු ගැන බලන්නට තිබූ නිසා ඔහුට වැඩිපුර මුදල් සොයන්නට සිදුව තිබූ බව සඳහන් වෙනවා. ඉන්දියාවේ දී ඉපැයූ ආදායම මෙන් හතර ගුණයක පමණ ආදායමක් ඩුබායිහි දී ඔහුට උපයන්නට හැකිව තිබුණා. විජේ එහි දී කර තිබුණේ ගිණුම් ක්‍ෂේත්‍රයට අදාල රැකියාවක්.

විජේ සහ ඔහුගේ බිරිඳ වන ජෙසී අතර ආදර සම්බන්ධය ඇති වී තිබුණේත් විජේ ඩුබායි හි සිටි කාලයේ යි. නමුත් ජෙසී ඒ වනවිට සිටියේ ඩුබායි හි නොව ඉන්දියාවේ යි. ඔවුන් ගේ සම්බන්ධය අන්තර්ජාලය සහ දුරකතන හරහා ඇති වූවක් බවයි පැවසෙන්නේ. මේ ආකාරයෙන් ආරම්භ වූ ඇසුර දුරදිග ගොස් ඔවුන් පෙම්වතුන් බවට පත් වූ අතර 2003 වසරේ ඔවුන් දෙදෙනා යුග දිවියට එළැඹුණා. ඔවුන්ගේ ආදර සම්බන්ධයට අදාල අපූරු කාරණයක් වන්නේ මේ දෙදෙනා පළමු වරට මුහුණට මුහුණ හමු වී තිබුණේ විවාහය ලියාපදිංචි කළ දිනයේ වීම යි.

ටික කලක් යද්දී විජේට ඩුබායි හි කළ රැකියාව එපා වී තිබූ අතර ඔහු නැවත ඉන්දියාවට පැමිණියා. එසේ පැමිණ සිය මිතුරන් සමග ගෘහ අලංකරණ ව්‍යාපාරයක් ආරම්භ කරන්නටත් උත්සාහ ගෙන තිබුණා. නමුත් ඒවා එතරම් සාර්ථක වී තිබුණේ නැහැ.

විජේ මුලින්ම නළුවකු ලෙස කටයුතු කර තිබුණේ වේදිකාවේ යි. ඔහු එකල නාට්‍ය කණ්ඩායමකට සම්බන්ධ වී සිටි බවත් පැවසෙනවා. මේ කාලයේ ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්‍ෂවරයකු වූ බාලු මහේන්‍ද්‍ර විජේව දැක ඔහුට තිබෙන්නේ සිනමාවට ගැලපෙන මුහුණක් බව පවසා තිබුණා ලු! සිනමා නළුවකු වීම සඳහා විජේ තුළ පෙළඹවීමක් ඇති කර තිබුණේ ඔහු යි. නමුත් බාලු මහේන්‍ද්‍ර කවදාවත් ඔහුගේ චිත්‍රපටයකට විජේ යොදා ගත්තේ නැහැ.

විජේ මුලින් චිත්‍රපටවල රඟපෑවේ සුළු චරිත යි. ඔහු නළුවකු ලෙස වඩාත් ඉදිරියට එන්නට පටන් ගත්තේ 2010 දශකයේ යි.

විජේ මේ වනවිට දෙදරු පියෙක්. ඔහුට සහ ජෙසීට පුතෙකු සහ දියණියක සිටිනවා. වැඩිමල් පුතුගේ නම සූර්යා. දියණිය ශ්‍රීජා. සූර්යා සිය පියා රඟ පෑ චිත්‍රපට දෙකක පමණ සුළු චරිත රඟපා තිබෙන බවත් සඳහන්.

නිහාල් පීරිස්

රසගඟුල