ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රනිල්ට සහාය නොදීම ගැන මහින්ද කනස්සල්ලෙන්

ඉදිරි ජනාධිපතිවරණයදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වුවත් පක්ෂ ලේකම් සාගර කාරිවසම් මහතා විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළින් වෙනම ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයකු නම් කළ යුතු බවක් ඉස්මතු කරලීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා දැඩි කලකිරීමකට පත් ව ඇතැයි වාර්තා වෙයි.ඔහු පවසා ඇත්තේ එය අතිශය අඥාන තීරණයක් බව ය.ඉදිරි ජනාධිපතිවරණයදී ශ්‍රී ලංකා පොදු පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ යුතු බව මහින්ද රාජපක්ෂ මහතා තමන් සමග පැවසූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ දිළුම් අමුණුගම යන අමාත්‍ය වරුන් ද ප්‍රකාශ කොට තිබේ.ඒ අතර පසුගිය 02 වන දා පැවැති ශ්‍රී ලංකා පොදු පෙරමුණු තරුණ සම්මේලනය අවසානයේ ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට පක්ෂය යෝජනා කළ හොත් යනුවෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ මහතා දුන් ක්ෂණික පිළිතුර වූයේ”බුදු අම්මෝ!උඩින් දෙන්නේ” යන්න ය.මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ස්ථාවරයේම චමල් රාජපක්ෂ මහතා ද පසුවන අතර මේ කරුණ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළ දේශපාලන මත ගැටුමක් පවා ඇති වී තිබෙන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.ඒ කෙසේ හෝ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු පෙරමුණේ මී ළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා ගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

කාලීන පුවත්