ශ්‍රී ලංකා රජය අදානි ග්‍රීන් එනජි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය තවමත් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභා වාරයේ පළමු බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම ඒ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පෙන්වා දුන්නේ අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවත් එම අවස්ථාවේදී ඉන්දීය අදානි මව් සමාගම විසින් මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් එවා තිබූ බවත් මේ අනුව ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබඳ අමාත්‍යාංශය දැනුවත් කළ බවත් ය. නමුත් සුලං බල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ලංකාවේ අදානි සමාගමේ නියෝජිත ආයතනය සමගින් බවත් මේ නිසා මේ සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එබැවින් ලිපිය යවා සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් පිළිතුරක් අපේක්ෂිත බව ගරු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෙහිදී පැවසීය.