අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ පිහිටි දන්සැල් කලාපයේ පැවති සත්යග්රහ භූමියේ ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි, එළඹෙන 26 වැනිදා විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා නියෝග කළේය.අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාට මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ඊයේ (17) දිනයේදීය. මෙම නියෝගය නිකුත් කෙරුණේ, ගැටුම අතරතුර රාජාංගනයේ සද්ධාරතන නමැත්තාට පහර දී තුවාල කිරීමේ සහ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පිරිසට ඇප ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරුන් වන ඉන්දික ඉඹුල්පිටිය සහ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවය.මෝසම ඉදිරිපත් කරමින් නීතිඥවරුන් කියා සිටියේ, ගැටුමට මුල පුරමින් කලහකාරී තත්ත්වයක් සැලසුම් කළ බව කියන රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ඇතුළු 25 කට අධික පිරිසක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, අනුරාධපුර පොලිසිය හිතාමතාම එම සැකකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ හැර අත්අඩංගුවට නොගෙන සිටින බවයි.එමෙන්ම, කිසිදු ගැටුමක් ඇති නොවීමට වගබලා ගැනීමට පොලිසියට පහසු හැකියාවක් තිබියදී, මැර කණ්ඩායම්වලට නීතිය අතට ගෙන ගැටුමක් ඇති කිරීමට පොලිසිය පහසුවෙන් ඉඩ සලසා දුන් බවද නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ. මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නරඹන විට, ගැටුමට මුල් වූ මැර කණ්ඩායම් මෙහෙයවූයේ අනුරාධපුර පොලිසියේ නිලධාරීන් දැයි සැකයක් පවතින බවද ඔවුන් සඳහන් කළ බව වාර්තා වේ.නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කහටගස්දිගිලියේ විජිත, බලන්ගොඩ අනුරුද්ධ, පිළිමතලාවේ රේවත සහ දෙනියායේ සෝරත යන භික්ෂූන් වහන්සේලා සිව්නම, අනෙකුත් සිවිල් පිරිමි පුද්ගලයන් දෙදෙනා සහ කාන්තාව සම්බන්ධයෙනි. මෙම පිරිස මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉකුත් 11 වැනිදා ලබා දුන් නියෝගයකට අනුවය.මහේස්ත්රාත්වරයාගේ නියෝගයට අනුව, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ මස 26 වැනිදා පෞද්ගලිකවම විවෘත අධිකරණයේ පෙනී සිට, සද්ධාරතන නමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීමට හේතු පැහැදිලි කළ යුතුය.