උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාමේ අවදානමක්

ඉදිරි උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල තවදුරටත් ඉහළ යා හැකි බවට පිටකොටුව වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයෝ අනතුරු අඟවති.තොග වෙළෙඳපොළට වියළි මිරිස් ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් ඉදිරියේදී වියළි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් දෙදහසට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ඔවුහු පවසති.උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය සඳහා ඇතිවන ඉල්ලුම ඉහළ යාමත් සමඟ සැපයුම ප්‍රමාණවත් නොවන්නේ නම් මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව වෙළෙඳුන්ගේ අදහස වී තිබේ.මේ අතර, දේශීය රතුලූනු සහ බිත්තර මිල ගණන් ද පසුගිය සතියේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තා මගින් අනාවරණය වේ.මහ බැංකුවේ අදාළ වාර්තාවලට අනුව, නොවැම්බර් 13 වැනිදායින් අවසන් වූ සතිය හා නොවැම්බර් 20 වැනිදායින් අවසන් වූ සතිය සැසඳීමේදී පිටකොටුව සහ නාරාහේන්පිට වෙළෙඳපොළවල දේශීය රතුලූනු සහ බිත්තර මිල ඉහළ ගොස් තිබේ.ඒ අනුව පිටකොටුව වෙළෙඳපොළේ දේශීය රතුලූනු කිලෝග්‍රෑමයක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 527.60 සිට රුපියල් 675 දක්වා ඉහළ ගොස් ඇත. එය සතියක් තුළ රුපියල් 147.40ක හෙවත් සියයට 27.9ක පමණ වැඩිවීමකි.එම වෙළෙඳපොළේ සුදු බිත්තරයක සාමාන්‍ය සිල්ලර මිල ද රුපියල් 37.68 සිට රුපියල් 41.75 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව බිත්තරයක මිල රුපියල් 4.07කින් හෙවත් සියයට 10.8කින් පමණ වැඩි වී ඇත.නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ද දේශීය රතුලූනු කිලෝග්‍රෑමයක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 700 සිට රුපියල් 820 දක්වා ඉහළ ගොස් තිබේ. එය සතියක් තුළ රුපියල් 120ක හෙවත් සියයට 17.1ක වැඩිවීමකි.එම මධ්‍යස්ථානයේ සුදු බිත්තරයක සාමාන්‍ය සිල්ලර මිල ද රුපියල් 39.60 සිට රුපියල් 42 දක්වා ඉහළ ගොස් ඇත.ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් මෙලෙස ඉහළ යාමත් සමඟ ඉදිරි උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වැඩි වියදමක් දැරීමට සිදුවිය හැකි බවට පවතින අනතුරු ඇඟවීම් කෙරෙහි අවධානය යොමු වී තිබේ.

කාලීන පුවත්