බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය ඉදිරි දින දෙක තුළ ‘ප්‍රබල සුළි කුණාටුවක්’ (Severe Cyclonic Storm) දක්වා තවදුරටත් තීව්ර වීමේ වැඩි ඉඩකඩක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද අලුයම 5.30 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 600ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව තිබූ මෙම පද්ධතිය, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතී. දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව මෙය 16 වනදා උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්ව, එදින රාත්‍රී කාලයේදී දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘සුළි කුණාටුවක්’ දක්වාත්, 17 වනදා වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව ‘ප්‍රබල සුළි කුණාටුවක්’ දක්වාත් වර්ධනය වනු ඇත.මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින්, උතුරු අක්ෂාංශ 05° – 15° සහ නැගෙනහිර දේශාංශ 80° – 90° අතර ගැඹුරු මුහුදු ප්‍රදේශ මෙන්ම කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු කලාප සඳහා දැඩි අවවාදාත්මක රතු නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව, නැවත දැනුම් දෙනතුරු එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසත්, දැනට එම ප්‍රදේශවල යාත්‍රා කරමින් සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන වෙත පැමිණෙන ලෙසත් දෙපාර්තමේන්තුව දැඩිව අවධාරණය කරයි.මෙම පද්ධතිය දිවයිනේ නැගෙනහිර වෙරළට ඈතින් ගමන් කළද, එහි බලපෑමෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ වරින් වර හමන තද සුළං අපේක්ෂා කෙරේ. එබැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දීම සඳහා 117 ක්ෂණික ඇමතුම් අංකය භාවිත කළ හැකි බවද දන්වා සිටී.